හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතුවරියගේ ලැප්ටොප් ඒක CID එකේ

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බිය පලවී තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියක මෙන්ම හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතුවරියද වන ධරිෂා බැස්ටියන්ස් ප්‍රකාශ කරන පරිදි ජූනි 9 දා ඇගේ නිවසට ඇතුල්වූ CID නිලධාරීන් නිදන කාමරය, වැඩ කරන තැන ඇතුළු මුළු නිවසම ඡායාරූප ගතකොට පරිගණකය ඇතුළු ඊට අයත් ආම්පන්න රැගෙන ගොස් තිබේ.

මීට ඉහත දෙවතාවක්ම ඇගේ නිවසට වරෙන්තුවකින් තොරව ඇතුල්වී පරිගණකය ගෙනයාමට අසාර්ථක උත්සාහයක යෙදුනු පොලිස් නිලධාරීන් මේ වතාවේ පැමිණ ඇත්තේ වරෙන්තුවක් සමගය.

උසාවි නියෝගයක් නැතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ඉහතදී ඇගේ දුරකථන ඇමතුම් දත්ත ලබාගෙන එම තොරතුරු ප්‍රසිද්ධියට පත්කර තිබුණු හෙයින් එය බියට හේතුවන කරුණක් බව මාධ්‍යවේදිනිය අවධාරණය කරන්නීය.

“එදා, මෙදා සහ ඉදිරි කාලයේදී  මගේ මුලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස අනතුරේ හෙළිය හැකි පරිදි මගේ  දුරකතන වාර්තා ප්‍රසිද්ධියේ එළිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක ලෙස මම මහත්සේ තැති ගෙන සිටිමි,” යි ධරිෂා  බැස්ටියන්ස් තමන් මුහුණපා සිටින අවදානම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්වු නිවේදනයක සඳහන් කරන්නීය.

“නීතිය ක්‍රියාවේ යොදවන නිසි ආයතන කරන ඕනෑම විමර්ශනයකට සහාය දැක්වීමට මම සුදානම්ව සිටින අතර  මගේ පරිගණකය විශ්ලේෂණය කිරීමෙන් කිසිදු අපරාධකාරී දෙයක් CID ය විසින් සොයාගනු නැති බව මගේ විශ්වාසයයි. නීතිය ක්‍රියාවේ යොදවන ආයතන විසින් ගන්නා ලද ලැප්ටොප් පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, දත්ත සහ ලියකියවිලි ඇතුළු වෙනත් මට අයත් විද්‍යුත් ද්‍රව්‍ය/මෙවලම් වල පරිපුර්ණත්වය  අවදානමේ හෙලීමට මේගැන උනන්දුවක් දක්වන අංශ විසින් පවත්නා තත්වයන් යටතේ වීරිය දැරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් මම මහත්සේ කලබලයට පත්වී සිටිමි.”

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිදුවූ පැහැරගනු ලැබීමක් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයකට ඇගේ නම පසුගිය මාස කිහිපය තිස්සේම ගෑවී තිබුණු බව ධරිෂා බැස්ටියන්ස් සඳහන් කරන්නීය.

ඇය වැඩි දුරටත් කියා සිටින්නේ විශේෂයෙන්ම ඇය පරිහරණය කරන විද්‍යුත් මෙවලම් සම්බන්ධයෙන් ඇගේ වෘත්තීය සගයන්ගෙන් CID ය ප්‍රශ්න කර ඇති බවයි.

Social Sharing
නවතම