කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල මහපාරට ආවේ කොහොමද?

නව කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් ආසාධිතයන් සමීපයට යන හා අවදානම් සේවාවල නිරතවන සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පළදින කොවිඩ් ආරක්ෂිත ඇදුම් කට්ටල 10 ක් පෙරේදා (09)  මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දේවාලකඩේ හා මින්නේරිය ජාතික උද්‍යානයේ පිවිසුම් දොර‍ටුව අතර මාර්ගය අයිනේ දමා ගොස් තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ල මහතා පවසයි.

මින්නේරිය ජාතික උද්‍යානය මැදින් දිවෙන පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ අයිනේ  දිනපතාම පාහේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහනවලින් විවිධ අපද්‍රව්‍ය හා කුණු බහාලූ මලු බැහැර කිරීම ඇතැම් පුද්ගලයින් විසින් හොර රහසේම සිදු කරන බවත් එම තත්ත්වය නිසා වනෝද්‍යානයේ වන සතුන්ට වන හානිය අවම කර ගැනීම සඳහා සේවකයෙකු යොදවා එම කුණු හා අප ද්‍රව්‍ය දිනපතා ඉවත් කිරීමට කටයුතු කෙරෙන බවත් පෙරේදා(09) එම සේවකයා මාර්ගය දෙපස දමා ගොස් ඇති කැලි කසල එකතු කරන අවස්ථාවේ කොවිඩ් ආරක්ෂිත අදුම් කට්ටල 10 හමු වී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

” මින්නේරිය ජාතික උද්‍යානයේ දේවාලකඩේ සිට උද්‍යානයේ පිවිසුම් දොර‍ටුව අතර ප්‍රදේශයේ 7 කණුව ආසන්නයෙන්  ඊයේ(09) මාර්ගය අයිනේ දමා ගිය කොරෝනා ආරක්ෂිත අඳුම් කට්ටල 10ක් හමු වුණා.මේ තත්ත්වය ඉතාම කණගා‍ටුදායකයි.

මොකද මෙවැනි කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිහරණය කරන්නේ කොරෝනා රෝගීන්ට සෘජුව නිරාවරණය වන පිරිස් පමණයි. ඒ සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් කියන දෙපාර්ශවය.

දිනපතාම පාහේ රාත්‍රී කාලයේ පොලොන්නරුවේ පිහිටලා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රෝගීන් ගෙන යාම හා සුව වූ රෝගීන් ආපසු ගෙනයාම සිදු වන්නේ මේ මාර්ගයෙන්.

අපි සැක කරන්නේ එවැනි බස් රථයකින් හෝ ගිලන් රථයකින් හෝ මෙම කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිසරයට මුදා හරින්න ඇති කියලා. වෙනත් කවුරුවත් මේවා පරිහරණය කරන්නේ නෑ.

සමහර විට ඒ බස් රථවල හරි ගිලන් රථවල හරි සේවය කරන රියදුරන් රිය සහායකයින් වැනි පිරිස් අතින් මෙහෙම දෙයක් වුණා වෙන්නත් පුළුවන්. අපි කියන්නේ මෙ වැනි අවදානම් සහගත් දේවල් කිරීමෙන් වලකින්න කියලා.

අපි විදෙස් මාධ්‍යවලින් දැනගෙන තියෙනවා මෙම කොවිඩ් ඇඳුම් කට්ටලවලින් මුව ආවරණවලින් කොරෝනා වෛරසය බෝවීමේ ඉහල අවදානමක් තියෙනවා කියලා.

දැන් අපේ වනෝද්‍යානයේ මාර්ගය අයිනේ සැරිසරන වන අලියෙකු හෝ වෙනත් සතෙකු මේ ඇදුම් කට්ටල දැක්කනම් ඔවුන් මේවා ගැන විමසිලිමත් වෙනවා. මේවා සමග ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. අලියෙකු එහෙම කරන්න ගත්තොත් අලියාගේ හොඬය පාවිච්චි කරන නිසා එම අලියාට බෝ වෙන්න පුළුවන්.

විදෙස් රටවල එහෙම වන සතුන්ට බෝ වෙන තත්ත්වයන් වාර්තා කර තිබුණා. අලියාට බෝ වුණොත් ඒ වගේම රිලවුන් වඳුරන් ට බෝ වුණොත් මිනිස්සුන් ට බෝ වීමේ සීග්‍රතාවක් ඇති වෙන්න පුළුවන්.

අපේ ජනතාවගේ ආකල්පමය ගැටලුවේ තරම මේකෙන් පේනවා. මේ ගැන මොකද්ද කරන්න ඕන කියලා අපේ සේවකයාට ලොකු අවබෝධයක් තිබුණේ නැති නිසා ඔහු ඒවා ස්පර්ශ කරන්න ගියේ නෑ.

නමුත් අපට දැනුම් දුන්නට පස්සේ මේවා ගිනි තබා විනාශ කරන්න කටයුතු කළා.අපි මේ පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබෙන අය නෙමෙයි. නමුත් මේ අපද්‍රව්‍ය ඉවත දාන්නේ මේ පිළිබඳව පැහැදිලි දැනුමක් තියෙන අය.

ඒ අය මේ ඉවත දැමීම නිසි ක්‍රමවේදයකට සිදු නොකළොත් කොවිඩ් ව්‍යාප්ත වීම තවත් වැඩි වෙන්න පුළුවන්.” භාතිය මඩුගල්ල මහතා වඩි දුරටත් කීය.

කෙසේ වෙතත් පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක දින පතාම පාහේ රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබති. සුව වී පිටව යන පුද්ගලයින් හා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර සඳහා ‍රැගෙන එන පිරිස් දින පතාම පාහේ ‍රැගෙන එති.

මෙසේ කොවිඩ් ආරක්ෂිත අඳුම් කට්ටල පරිසරයට ඉවත ලීම නුසුදුසු බව දිගින් දිගටම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දී තිබුණත් මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් වැඩි වන්නේ ඇයි දැයි පොලොන්නරුවේ ජනතාව ප්‍රශ්න කරති.

මීට දින දෙකකට පෙර ගිරිතලේ දියබෙදුම මාර්ගයේ කබර බෝක්කුව අසල ද මෙවැනිම අන්දමේ ඇදුම් කට්ටල 4ක් දමා ගොස් තිබුණේ ගිරිතලේ මින්නේරිය ස්වභාව රක්ෂිතයේ මාර්ගය අයිනේ ය.

මේ පිළිබඳව බලධාරින්ගේ අවධානය මීට වඩා යොමු කළ යුතු බවත් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාළනයට ඉවතලන මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල රෝගීන් පරිහරණය කරන සියලු ද්‍රව්‍ය විනාශ කිරීමේ යාන්ත්‍රණය හා ඒවා බැහැර කිරීමේ යාන්ත්‍රණයේ ඇති අවිධිමත් බව නිසා මෙවැනි තත්ත්වයන් ඇති වන බව ද ඔවුහු පෙන්වා දෙති.

පරිසර ඇමතිවරයා පසුගිය දා මාධ්‍ය හමුවක දී පවසා තිබුණේ මෙරට මුඛ ඉවතලන මුඛ ආවරණ ඉදිරියේ දී පරිසර ප්‍රශ්නයක් පමණක් නොව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ඉහළ යෑමට ද හේතු විය හැකි බවයි.

හෙතෙම සඳහන් කළේ ඉකුත් මාර්තු 17 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ මුඛ ආවරණ ටොන් 495ක් ගෙන්වා ඇති බවත්, කෝටි 14ක් මුඛ ආවරණ අඩංගුව තිබූ බවත් ය. ඊට අමතරව තවත් KN95 මුඛ ආවරණ මිලියන 15ක් ආනයනයට සමාගම් 100ක් අවසර ඉල්ලා ඇති බව ද  ඇමතිවරයා අනාවරණය කළේ ය.

මේ අනුව මුව ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොවුන හොත් ඉදිරියේ දී පරිසරය දූෂණය වනවා පමණක් නොව ආසාධිතයින් පරිහරණය කළ මෙවැනි දෑ තුළින් වෛරසය පරිසරය පුරා පැතිර යාමත් ජල මූලාශ්‍රවලට එක් වීමත් නොවැලැක්විය හැකි බව පරිසර සංවිධාන පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යංශය ද අවධාරණය කර තිබේ.

එසේ තිබිය දී මේවා පරිහරණය කරන විශේෂිත පුද්ගලයින් ඒවා ඉවත ලීමට විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල පරිහරණය කරන ද්‍රව්‍ය හා අපජාය බැහැර කරලීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බවත් පොලොන්නරුවේ ජනතාව පමණක් නොව වන සතුන් ආරක්ෂා කර ගැනීම උදෙසාත් පරිසරය පුරා කොවිඩ් 19 වෛරසය පැතිරීම වැලැක්වීම සඳහාත් වහාම පියවර ගත යුතු බව පොලොන්නරුවේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

පින්තූරවල දැක්වෙන්නේ මින්නේරිය ජාතික උද්‍යානයේ මාර්ගය අයිනේ දමා ගිය කොවිඩ් 19 ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයකි.

ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම