ඇමතිවරු පුලන්නන් වූ කල!

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත තිබු විවිධ ආයතන වෙනස් කිරීම් සිදු කිරීම සම්බන්ධව යම් නොසන්සුන් තාවයකට පත්ව තිබේ.

මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගම මෙම තත්ත්වය තවත් උත්සන්න වන තත්ත්වයක් නිර්මාණය විය. 20 වන ව්‍යවස්ථාව හරහා අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන බලය සෑහෙන දුරකට පාලනය වන නිසා ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට රජයේ අමාත්‍යවරු කිහිප පොලක්ම කටයුතු කළේය. මෙම සංඛ්‍යාව දහයකට ආසන්න බව වාර්තා විය.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආණ්ඩුව ඇතුලතින්ම ගොඩනැගුණු මෙම විරෝධය ක්‍රමයෙන් සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පැවතුනි. දිනෙන් දින වර්ධනය වෙමින් පැවති මෙම අභ්‍යන්තර කැරැල්ල මර්ධනය කිරීම සදහා ඇති එකම විසඳුම වූයේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එකතු කර ගැනීම වූ නිසා,  විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම වහාම දියත් විය.

අවසානයේ 20 වන සංශෝධනය සදහා අවශ්‍ය නම්බර්ස් ප්‍රමාණය විපක්ෂයෙන් ආණ්ඩුවට ලැබීම නිසා, අභ්‍යන්තර කැරැල්ල ලත් තැනම ලොප් විය. දැන් වක්‍රව සිදුවෙමින් පවතින්නේ මෙම අභ්‍යන්තර කැරැල්ලට නායකත්වය සැපයූ හෝ එහි ක්‍රියාකාරීව සිටි, තවමත් අවනත කර ගැනීමට නොහැකි යැයි රාජපක්ෂවරුන් විසින් කල්පනා කරන පිරිස් වෙත ප්‍රතිචාර දැක්වීමයි.

පසුගියදා ජනාධිපති ලේකම්වරයා විසින් මහජන උපයෝගීතා කොමිසම කඩිමුඩියේ අහෝසිකර දැමීම සම්බන්ධව මෙම කැරලිකාර ඇමතිවරු විසින් තම විරෝධතාවයන් මෙන්ම, දුක් ගැනවිලි අගමැතිවරයා වෙත හා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනි.

මේ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් ලෙස සැලකෙන වෙළෙඳ  අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන් ප්‍රකාශ කර තිබුනේ සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා. කැබිනට් ඇමතිලා පුලන්නන් බවට පත්කර ඇති බවයි. කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව ඔහු ඉතා කණගාටුවෙන් සඳහන් කර තිබුනි.

එමෙන්ම, මේ සම්බන්ධව අදහස් දැක් වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.

ජනාධිපති කාර්යාලයට මෙම කොමිසම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත නොහැකි බවද, මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි බව ද ඇමතිවරයා තම ලිපියේ සදහන් කර තිබේ.

මෙම කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද සඳහන් කරයි. කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාද අවස්ථා කිහිපයක දී ඇතුලු ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාවන් සම්බන්ධව තම නොසතුට පලකර තිබුනි. ඔහු අතීතයේ සිටම වර්තමාන ජනාධිපති ලේකම් වරයා සැලකුවේ ආර්ථික ඝාතකයා යන නාමයෙනි. 20 සංශෝධනයට ඒරෙහිව ආණ්ඩුව තුළ ප්‍රබල භූමිකාවක නියැලුන වීරවංශ අමාත්‍යවරයා යම් පාලනයකට යටත් කර ගනු ලැබුවේ, ආණ්ඩුපක්ෂයේම මන්ත්‍රීවරයෙකු විසින් ඔහු වෙත ලබා දුන් ශරීරික දඩුවමක් නිසා බව පැවසේ.

2015 ආණ්ඩු පෙරලියත් සමගම මහින්ද සුළඟ නමින් විශාල ව්‍යාපාරයක් ආරම්භ කර මෙම ආණ්ඩුව ගෙන ඒමට පමණක් නොව පසුගිය රාජක්ෂ ආණ්ඩු ගොඩනැගීම සදහා ද ප්‍රබල දායකත්වයක් සැපයූ වීරවංශ අමාත්‍යවරයාට පහල මට්ටමේ මන්ත්‍රීවරයෙකු මේ ආකාරයේ හැසිරීම පිටුපස ප්‍රබල හස්තයක් ඇති බව තේරුම්ගත් ඔහු මේ දිනවල ඉතා සීරුවෙන් කටයුතු කරනු බව පෙනේ.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ තිබූ පොලීසිය, වෙනත් අමාත්‍යංශයක් ඇතිකර සරත් වීරසේකර මහතාට ලබා දීමත්, මහර බන්ධනාගාර සිද්ධියත් සමගම විෂයභාර ඇමතිවරිය වහා වෙනස් කර ලොහාන් රත්වත්තේ පත් කිරීමත්, කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය ඇතුලු, අනෙකුත් ප්‍රබල ස්ථාන සදහා ඒ සදහා සුදුසුකම් ඇති දේශපාලන නායකයින් පත් නොකර වෙනත් මිලිටරි නායකයින් පත්කිරීමත් සම්බන්ධව විපක්ෂයෙන් නොව ආණ්ඩු පක්ෂය තුළින්ම විටින් විට අදෝනා ඇසෙමින් තිබේ.

– පිලිප් දිසානායක

Social Sharing
නවතම