කම්කරු නීති අදාළ නැති වසංගත සමයේ ඇඟලුම් ශ්‍රමය.

ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වේ. විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලබන ආදායමට අමතරව ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයනු ලබන ප්‍රමුඛතම ආර්ථිකය ඇඟළුම් කර්මාන්තය.

එමගින් ලක්ෂ සංඛ්‍යාත රැකියා නිර්මාණය කිරීමක් ද සිදු විය. ශ්‍රී ලංකාව තුළ දහසකට ආසන්න ඇඟලුම් කම්හල් නිෂ්පාදන කාර්යයේ නිරත වෙමින් ඇති බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කොවිඩ් 19 වසංගතය රට තුළත් ගෝලීය වශයෙනුත් පාලනයකින් තොරව මේ වෙනවිට පැතිරී යමින් පවතී.  මින් බොහෝ සෙයින් පීඩා විඳින පාර්ශවයක් ලෙස ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන්  දැක්විය හැකිය.

මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කෙරෙන සමාජ දුරස්ථභාවය සහ අනෙකුත් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිව මෙම ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් වැඩෙහි යොදවා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් සමාගමක් වෙන බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ කම්කරුවන් දහසකට වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනය වූයේ කම්කරුවන් තුළින් රෝග ලක්ෂණ පෙනී ගියත් ඔවුන්ව බලෙන් වැඩ කිරීමට පෙළඹවීම නිසාවෙනි.

දකුණු ආසියාවේ ඇඟලුම් නිපදවන විශාලතම බහුජාතික සමාගම වන mas ආයතනයේ හොරණ සහ අගලවත්තේ පිහිටි කම්හල්වලින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සොයා ගනු ලැබීමත් සමගම එම කම්හල් තාවකාලිකව වසා දැමූවත් කම්හල් හිමියන් ඉතාමත් ඉක්මනින් නැවත ඒවා විවෘත කරන ලදී.

වසංගතය පාලනය කරන අතරම සාමාන්‍ය කටයුතු සිදු කිරීමට ජනපති ඇතුළු ආණ්ඩුව තීරණය කර ඇති බැවින් වෛරසය ආසාදනය වේයැයි බියෙන් පසු වූවත් කම්කරුවන්ට රැකියාවට වාර්තා කිරීමට සිදුවී තිබේ .

කම්කරුවන්ගේ සොඛ්‍ය පිළිබඳව සැලකිලිමත් යැයි මවා පෙන්වීමට රජය විසින් පිහිටුවා ඇති විවිධ කාර්ය සාධක බලකායන් විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කර ඇති නමුත් ඒවා කඩදාසියකට  පමණක්  සීමා වී ඇත.

මේ පිළිබඳව ආණ්ඩුව දන්නවා නමුත් රිසිසේ සේවකයින් රැකියාවට ගෙන්වා ගැනීමට කර්මාන්තශාලා පරිපාලනයට ඉඩදෙමින්  ආණ්ඩුව ද නිහඬව සිටී.

රටේ කොතරම් කම්කරු නීති තිබුණත් ඇඟලුම් සේවක සේවිකාවන්ට ඒවා බලපාන්නේ මද වශයෙනි. මේ සේවකයින්ට හිමි වන්නේ රුපියල් 13000- 18000 වැනි අවම මාසික වැටුපකි.

දුර පළාත්වල සිට පැමිණ නගරයේ බෝඩින් කාමර වල නැවතී විවිධ දුෂ්කරතාවලට මැදිව ජීවිකාව ගෙන යන ඔවුන්ට තම ස්වකීය මූලික අවශ්‍යතා පවා ඉටු කර ගැනීමට මෙම වැටුප ප්‍රමාණවත් නොවේ

ඒ නිසා ඔවුන් යොමුව සිටියේ එක දිගට වැඩ කර ලැබෙන අතිකාල දීමනාවෙන් මෙන්ම පැමිණීමේ දීමනාවෙන් තවත් වැඩිපුර කීයක් හෝ උපයා ගැනීමටයි. නමුත් දැන් පැමිණීමේ දීමනා සහ අනෙක් සියලු දිරිදීමනා කපා දමා ඇති අතර බොහෝ කර්මාන්ත ශාලා තම සේවකයන්ට ලබා දෙන්නේ මූලික වැටුප පමණයි.

ඇඟලුම් හිමිකරුවන් ඔවුන්ගේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ ශ්‍රමය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනියි.

ඇඟලුම් කර්මාන්ත සේවකයින්  රැකියාවට පැමිණෙන්නේ සමාගමට අයත් බස් රථ වලිනි. ඔවුන් විවිධ ප්‍රදේශවලින් බස් රථයට ගොඩ වෙන අතර කිසිම සමාජ දුරස්ථ භාවයක් නොමැතිව බස් රථයේ ගමන් කරයි. ඊළඟට ඔවුන්  ඇගිලි සලකුණු යන්ත්‍ර වල  අත්සන තැබීමට යුහුසුළු වේ. රැකියාව සිදුකරන අතරතුර දී ද ඔවුන්ට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට  නොහැකි ය.

ටාගට් කවර් කර ගැනීම සඳහා ඔවුන්ට අනිත් සේවකයින් සමඟ එකිනෙකට සමීපව ගැටෙමින් කටයුතු කළ යුතුය. ඔවුන් පළඳින මුහුණු ආවරණ ද හොඳ තත්වයෙන් නැත. ඇඟලුම් මැසීම සදහා රෙදි කැපීමෙන් පසු ඉතිරි වෙන රෙදි වලින් සාදාගත් මුහුණු ආවරණ ඔවුන් සාමාන්‍යයෙන් පැළඳ සිටියි.

බොහෝ කම්කරුවන් පවසන්නේ රැකියා අවස්ථාවේදී සැපයෙන මූලික පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බවයි. වැසිකිළි පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින් කම්කරුවන්ට ඒවා භාවිතා කිරීමට පැය ගණන් බලා සිටීමට සිදුවේ. ඒ වාගේම ඒවා නිසි ලෙස නඩත්තු කිරීමක් ද සිදුවන්නේ නැත.

ඒ වාගේම නිවාඩු නොමැතිව සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිත් වැඩ කිරීමට කම්කරුවන්ට අනිවාර්ය කොට තිබේ.

වසංගතය මධ්‍යයේ වුවත් සේවකයින් ගෙන්වා ගනිමින් කර්මාන්තශාලාවේ නිෂ්පාදනය වැඩිකරගැනීමට පරිපාලනය කටයුතු කරත් දෙසැම්බර් මාසයේ ප්‍රසාද දීමනාව නොගෙවීමට බොහෝ කර්මාන්ත ශාලා හිමියන් තීරණය කර තිබේ.

දරුණු ලෙස වෛරසය රට පුරා පැතිර යන මේ අවස්ථාවේදීත් ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාර පාන නො සපයමින් සහ වැටුප් කප්පාදු කරමින් ඇඟලුම් කර්මාන්තශාලා පරිපාලනය කම්කරුවන් සේවයේ යොදවමින් ඔවුන්ගේ ශ්‍රමය නිර්දය ලෙස සූරා කමින් සිටියි.

Social Sharing
නවතම විශේෂාංග