අළුත් “ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්” තනතුරට ගුරු සංගම් විරෝධය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර ඒ සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

අධ්‍යාපන පරිපාලනයට අදාළ තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සහිත පුද්ගලයන් විධිමත්ව බඳවා ගත යුතු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

එසේ තිබියදී ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් අධ්‍යානපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර කැබිනට් පත්‍රිකාවක්  මගින් ඒ සඳහා පත් කිරීම් සිදු කිරීම බරපතල අනීතික ක්‍රියාවක් ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින්  හෙළා දැක තිබේ.

දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය රජය සමයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් විසින් ද අනීතික ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ තනතුර සඳහා මංජුල කාරියවසම් නමැති බාහිර පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කළ බවයි.

ඊට එරෙහිව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් ගෙන ගිය විරෝධය හා ඊට එරෙහිව ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග හමුවේ එම පුද්ගලයා ඉවත් කිරීමට සිදුවූ බවයි ගුරු සංගම් නායකයා පවසන්නේ.

අධ්‍යාපන සේවාවන්ගේ සේවා ව්‍යවස්ථාවන්ට පැටහැනි ලෙස පත්වීම් නොකළ යුතු බවට අධිකරණ තීරණ පවා තිබියදී මෙලස අනීතික පත් කිරීම් සිදු කිරීම බරපතල තත්වයක් බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සමිති නායකයා වැඩි දුරටත් අවධාරණය කරන්නේ  නීතියේ පාලනය ස්ථාපිත කර නීත්‍යානුකූල පාලනයක් රට තුළ ඇති කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණි වත්මන් රජය විසින් මේ ආකාරයෙන් අනීතික ලෙස කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවයි.

“අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට අදාළ සියලූ වරප‍්‍රසාද සහිතව ඇති කිරීමට යන මෙම තනතුර සඳහා ආණ්ඩුවේ පාලක දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතියක කටයුතු කරන ගුරු සේවයේ නිලධාරියෙකු පත් කිරීමට යන බව දැනගන්නට ලැබී ඇත.”

මේ ආකාරයට අධ්‍යාපන පද්ධතිය තුළ අනීතික පත්වීම් නොකරන ලෙසත් සේවා ව්‍යවස්ථාවන්ට අනුව සුදුසුකම් සහිත පුද්ගලයන් අධ්‍යාපන පද්ධතියේ තනතුරු සඳහා පත් කරන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

මෙසේ අනීතික ලෙස තනතුරු ඇති කරමින් සේවා ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරමින් නුසුදුසු පුද්ගලයන් එම තනතුරු සඳහා පත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියළු වෘත්තීය සමිති සමග එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු යොදන බවටත් ලංකා ගුරු සංගමය බලධාරීන්ට අනතුරු අඟවා සිටී.

එම නිවේදනය

Ceylon Teachers service union

Social Sharing
නවතම