
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීම (Home Detention) වැනි තාක්ෂණික විකල්ප හඳුන්වාදීමට සහ ඊට අදාළ නීති සංශෝධන සිදු කිරීමට රජය අවධානය යොමු කර ඇති බව අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
ඊයේ (24) නව පූගොඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ බන්ධනාගාරවල නිල ධාරිතාව රැඳවියන් 10,375 දෙනෙකුට පමණක් සීමා වී තිබුණද, මේ වන විට එම ප්‍රමාණය මෙන් සිව්ගුණයකට ආසන්න පිරිසක් රඳවා සිටින බවයි.
සුළු වරදවල් සම්බන්ධ නඩු සඳහා සිරදඬුවමට විකල්පයක් ලෙස විද්‍යුත් නිරීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ තැබීම ඇතුළු නව ක්‍රමවේද හඳුන්වාදීම සඳහා නීති සංශෝධන සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
බන්ධනාගාරවල තදබදය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස රජයේ රසපරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය පෙන්වා දුන් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කළ හැකි බව සඳහන් කළේය.
ඒ අනුව, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට මාසිකව වාර්තා 1,500 සිට 2,000 දක්වා නිකුත් කළ හැකි ධාරිතාවක් ලබාදීම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
තවද, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ විනිසුරුවරුන්ගේ හිඟය සහ ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව බවත්, සංවර්ධිත රටවල ජනගහනය මිලියනයකට විනිසුරුවරුන් 40ත් 60ත් අතර සංඛ්‍යාවක් සිටියද ශ්‍රී ලංකාවේ එම අගය මිලියනයකට විනිසුරුවරුන් 10 දෙනෙකු පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව අඩු කිරීම සඳහා අග්‍රවිනිශ්චයකාරවරයාගේ වැඩපිළිවෙළට රජයේ පූර්ණ සහය ලබාදෙන බවත්, විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ අධිකරණ සංඛ්‍යාව ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, මෑතකදී මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සාහයන්ට බාධා එල්ල කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බවත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර මේ වන විටත් ගෙන ඇති බවත්ය.
