මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 28 දෙනාගෙන් 17ක් වෙඩි වැදීමෙන් හා 11ක් මොට ආයුධ ප්‍රහාරවලින් මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය වෙයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණවලට හේතුව මොට ආයුධවලින් පහර දීම බවත් මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇතැයි, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ප්‍රකාශ කළා ය.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ගැටුම අතරතුර අපරාධයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ගැටුමෙන් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා බවත් පැවසුවා ය.

​ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ බව පැවසුවේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය බ්‍රහස්පතින්දා (ජූලි 23) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

​මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා ඇතුළු හත් දෙනෙකුගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

​මෙහිදී මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ වෙන් වෙන් වශයෙන් විමර්ශන කිහිපයක් පුළුල් ලෙස තවදුරටත් සිදු කරමින් පවතින බවයි.

ඒ  අනුව 54 වන වගන්තිය මඟින් අධිකරණය ඉදිරිපත් කරන සැකකරුවන් අකමැත්තෙන් හෝ බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරුන්ට සිදුවන බව ප්‍රකාශ කළ නීතිඥවරුන් 54 වන වගන්තිය නිසා මෙරට බන්ධනාගාර තුළ දැඩි පීඩනයක් හට ගෙන ඇති බවත්, ඒ උච්චම අවස්ථාවට ළඟා වූ විට එම පීඩනය පුපුරා ගොස් මෙවැනි බරපතළ ඛේදජනක සිදුවීම් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද කීවේ ය.

​එවැනි පහසුකම් නොලද තැන සතෙකු වුව ද කලහකාරී ලෙස හැසිරෙන බව අවධාරණය කළ නීතිඥවරයා මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ මරණවලට වගකිව යුතු සැකකරුවන් ලෙස ඇතැම් විට ඉදිරියේදී නම් කිරීමට නියමිත බන්ධනාගාර නිලධාරීන් යටතේ ම වින්දිත සිරකරුවන් රඳවා තැබීම යුක්තිසහගත නොවන බව අවධාරණය කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවා ය.

​පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙනී සිටි අතර ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන තම්බයියා, ජයරත්න රාජ්, සුබෝධ රත්නායක, ධනුෂ්ක ද සිල්වා, ශාන් ප්‍රභාකරන්, චානක රූපසිංහ යන සමග ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා පෙනී සිටියහ.

උපුටා ගැනීම BBC සිංහල

Social Sharing
නවතම පුවත්