“අගමැතිගේ ක්ලබ් මිතුරා පොලිස්පති පුටුවට” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

පොලිසිය දේශපාලනීකරණය වීම මේ දිනවල බොහෝ දෙනකුගේ කතාවට මාතෘකාවී ඇති විෂයයකි. මෙම දේශපාලනීකරණය ආරම්භ වූ සැබෑ වකවානු සම්බන්ධවද විවිධ පුද්ගලයන් විවිධ මත ප්‍රකාශ කරනු ලබයි.බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ 1970 බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ සමගි පෙරමුණු පාලන වකවානුවේ මෙන්ම 1977 බලයට පත් ජේ. ආර් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ පාලනය තුළ මෙම දේශපාලනීකරණයේ ආරම්භය සිදු වූ බවයි. එහෙත් මේ සම්බන්ධව නිවැරදි කරුණු සොයා බැලීමේදී අපට අවබෝධ වන්නේ පොලිසිය දේශපාලනීකරණයේ ආරම්භය 1948 බලයට පත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයේ කාලයේ බවය. ප්‍රථම ශ්‍රී ලාංකීය පොලිස්පති ධූරයට 1947 පත්කරනු ලැබුවේ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේය. ඒ ඩී එස්. ගේ යෝජනාවක් අනුවය රිචඩ් අළුවිහාරේ පොලිස් නිලධාරියෙකු නොවේ. ඔහු පොලිස්පති ධූරයට පත් කරන විට උතුරු මැද පළාතේ ආණ්ඩුව ඒජන්ත තනතුර හෙබවීය.මහනුවර ත්‍රීත්ව විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු ලෝක යුද සමය බ්‍රිතාන්‍ය හමුදාවට එක්වී මෙහෙයුම් වලට ගියේය.1919 දී ඔහු ලංකාවට ආවේය දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා බ්‍රිතාන්‍ය මිත්‍ර හමුදාවන්හි සේවය කරන ලද ශ්‍රී ලාංකීය හමුදා නිලධාරීන් සඳහා යුද්ධයෙන් පසුව රජයේ විවිධ තනතුරු තානාන්තර පිරිනැමීම බ්‍රිතාන්‍යයන් කර ඇත. මේ අනුව කොටසක් යුද හමුදාවට නිලධාරීන් ලෙස බඳවා ගනු ලැබූහ. තවත් කොටසක් සිවිල් සේවාවට අන්තර්ග්‍රහණය කරන ලදී. රිචඩ් අළුවිහාරේද මේ අනුව උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්ත ලෙස සිවිල් සේවයට අන්තර් ගහණය කළ නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පති වූයේ ඒ ආකාරයටය. මෙම දේශපාලනීකරණය තරම මනාව වැටහෙන්නේ 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදී 1947 පොලිස්පති වූ අළුවිහාරේම පනස් හයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කලාවැව ආසනයට තරග කිරීමය. මැතිවරණයෙන් ඔහුට අන්ත පරාජයක් අත්විය. කලාවැව ආසනය දිනාගත්තේ මහජන එක්සත් පෙරමුණේ එම්. එස්. දීසානායකය ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයා වැඩි ඡන්ද 5689 කින් පරාජය කරමිනි.ඉක්බිති ඔහු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත්කරන ලදී. සර් රිචඩ් අළුවිහාරේගේ එක් දුවෙක් වූ ඊශා අළුවිහාරේ විවාහ වී සිටියේ ඔහුගෙන් පසු පොලිස්පති ධූරයට පත් ඔස්මන්ද සිල්වා සමගය.

දෙවන පොලිස් දේශපාලනීකරණය සිදු කළේ එස්.ඩබ්.ආර්.ඩී, බණ්ඩාරනායකය. 1956 බලයට පැමිණි ඔහු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රිචඩ් අළු විහාරේගේ බෑනාවූ ඔස්මන්ඩ් ද . සිල්වා පොලිස්පති තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට ” එයිටි ක්ලබ්” එකේ අග්‍රාමාත්‍යවරයා සමග “බ්‍රිජ්” ක්‍රීඩාවේ යෙදෙන මිතුරකු වූ එවකට රජයේ ඉඩම් නිලධාරි ලෙස කටයුතු කළ M.W.F. අබේකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කළේ පොලිස් සේවය උඩු යටිකුරු කරමිනි. මේ වන විට පොලිස්පති තනතුරට ඇස ගසාගෙන සිටි සිඩ්නි සොයිසා සහ සී.සී. දිසානායක(ජංගල්) වැනි ජේෂ්ඨ පොලිස් නිලධාරින් අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයෙන් අධෛරමත් වූහ.1962 සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මෙම කරුණද ප්‍රධාන හේතුවක් වූ බව පැවසේ.

බණ්ඩාරනායක එම්. ඩබ්. එෆ්. අබේකෝන් පොලිස්පති තනතුරට පත් කළ හැටිද අපූරුය. 1956 අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු බණ්ඩාරනායකට වර්ජන රැල්ලකට මුහුණ දීමට සිදුවිය. එන්. එම්. කොල්වින්, පීටර් කේනමන්, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් සොයිසා වැනි වමේ නායකයින්ගේ මෙහෙයවීමෙන් “පැන්ටිස්” වැනි වරාය වෘත්තිය සමිති නායකයින්ගේ නායකත්වයෙන් කොළඹ වරාය තුළ අඛණ්ඩ වැඩවර්ජන රැල්ලක් ඇරඹිණි. මෙකල මෙන් නොව භාණ්ඩ ප්‍රවාහනය සඳහා එදවස කන්ටේනර් භාවිතය නොවීය. එම අවධියේ නැව් වලින් රැගෙන එන භාණ්ඩ ගොඩබෑම සඳහා විශාල කම්කරු බලකායක් අවශ්‍ය විය. වැඩ වර්ජන හේතුවෙන් සියලු ආනයන අපනයන කටයුතු ඇනහිටිණි. නැව් වලට සති ගණන් වරායේ රස්තියාදු වීමට සිදුවිය මෙම තත්ත්වය නිවැරදිව වටහා ගත් එවකට සිංගප්පූරුව ගොඩනැගීමේ සිහිනයක ගැලී සිටි ලී. ක්වාන්. යූ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැති මෙම තත්ත්වය සිංගප්පූරු වරාය ආරම්භ කිරීමේ සඳහා උචිතම කාලය මෙම වකවානුව බවයි. එකල ඔහු සිහින දැක්කේ සිංගප්පූරුව කොළඹ හැටියට හදා ගන්නේ කොහොමද කියාය අපේ නායකයන් සිහින දකින්නේ කොළඹ සිංගප්පූරුවක් කරන්නේ කොහොමද කියාය. නායකත්වය වෙනස ඇත්තේ එතනය

වැඩ වර්ජන රැල්ල මැඩ පැවැත්වීම සඳහා බණ්ඩාරනායක පොලිස්පති ඔස්මන්ඩ්. ද. සිල්වා අරලියගහ මන්දිරයට කැඳවීය.

” අයි.ජී. පී. මේ ස්ට්‍රයික්කාරයෝ කොහොම හරිි නවත්තන්න ඕන. ස්ට්‍රයික් කරලා ඉන්න සේරම දෙනාට ගහලා පන්නලා දාන්න ඒ මිනිස්සුන්ට වරාය පැත්ත පළාතකට එන්න දෙන්න එපා. අපි ආමි එකයි අපේ මිනිස්සුයි දාලා වරාය දුවනවා. ඔබ මේක අදම කරන්න ඕන”

අග්‍රාමාත්‍යවරයා දැඩි ස්වරයෙන් පොලිස්පතිවරයාට නියෝග කර ඇත

“සර් මට ඒක කරන්න බෑ. පොලිස්පතිවරයා හැටියට මම සර්ට් වගේම ජනතාවටත් වගකියන්න ඕන. මට නීති විරෝධී වැඩ කරන්න බෑ ස්ට්‍රයික් කරන එක වෘත්තිය අයිතිවාසිකමක්. එතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් ඒක සර්ල මැදහත් වෙලා විසඳන්න ඕන. සාමය කඩ වෙනවනං හරි රාජ්‍ය දේපළට හානි කරනවා නම් හරි මට පුළුවන් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න”

පොලිස්පතිවරයාද අග්‍රාමාත්‍යවරයාට සෘජු පිළිතුරක් ලබාදී ඇත

“එහෙනම් අයි. ජී.පී මට කණගාටුවෙන් හරි ඔබට කියන්න සිද්ධ වෙනවා වහාම ඔබගේ ඉල්ලා අස්වීමේ ලියුම මට එවන්න කියලා”

“ඒක ප්‍රශ්නයක් නෑ සර් ඉල්ලන ඕන වෙලාවක මගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන්න මම ලෑස්තියි. ගෞරවනීය ලෙස ගෙදර යන එක මට වැදගත් වැරදි වැඩ නොකර”
පොලිස්පතිවරයාද අග්‍රාමාත්‍යවරයාට පැවසා ඇත්තේ සිය නිලයේ මෙන්ම වෘත්තීය ගෞරවයද රැක ගනිමිනි.

මෙම සිදුවීම සිදුවී පැය කීපයක් ඇතුළත ඔස්මන්ඩ්. ද . සිල්වා පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ නිල නියෝගය අග්‍රාමාත්‍ය කාර්යාලයේ මගින් නිකුත් විය.
පොලිස්පති තනතුර සම්බන්ධව පැන නැගී තිබූ මේ බැරෑරුම්කාරී තත්ත්වය පැහැදිලි කිරීම සඳහා එදිනම සවස බම්බලපිටියේ පිහිටි උසස් පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ (Officers Mess) හිදී උසස් පොලිස් නිලධාරීන් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ සාකච්ඡාවක් සුදානම් කර ඇත. කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශයන්හි සේවය කරන ලද සියළුම ජේෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර සාකච්ඡාව සූදානම් ව තිබියදී අග්‍රාමාත්‍යවරයා සිය නිල රථයෙන්ම සාකච්ඡාව පැවැති ගොඩනැගිල්ලට පැමිණ තිබේ. ඔහු වාහනයේ වම් පසින් බසිද්දී ඔහු සමඟ වාහනයේ පසුපස අසුනේම ගමන් කළ සුදු පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකුද වාහනයෙන් බැස සාකච්ඡා සභාව පැවති ශාලාවට අග්‍රාමාත්‍යවරයා සමගම පැමිණ ඇත.

දෙදෙනාම සාකච්ඡා ශාලාවට ඇතුල් වෙද්දී අග්‍රාමාත්‍යවරයා සිය හඬ අවධි කළේය

“මහත්වරුනි මම දැන් ඔබට ඔබගේ නව පොලිස්පතිතුමා හඳුන්වා දෙන්න යනවා මේ එම්.ඩබ්. එෆ්. අබේකෝන් මහතා ඔබගේ නව පොලිස්පති.”
අග්‍රාමාත්‍යවරයා නව පොලිස්පති සභාවට හඳුන්වා දී ඇත්තේ ඒ ආකාරයටය

සී. සී දිසානායක (ජංගල්), සිඩ්නි සොයිසා ,එස්. ඒ. දිසානායක (ජිංගල්) ජෝන් ආටිගල වැනි ඉතා ජ්‍යෙෂ්ඨ කෘතහස්ථ පොලිස් නිලධාරින් රාශියකගෙන් එම සභාව සමන්විත වුවද. අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට විරුද්ධ වීමට ඒ කිසිවකු ඒ අවස්ථාවේ ඉදිරිපත්වී නැත. එහෙත් පසු පෙලේ සිටි එවකට ඉතා කනිෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයකු වු “රුද්‍රා රාජසිංහම්” පමණක් සිය අදහස් ඝෘජුව ප්‍රකාශ කරමින් සංවෘත සේවාවක් වන පොලිසිය මෙවැනි ආකාරයට බාහිර පුද්ගලයන්ගේ නායකත්වයට පත් කිරීමට තමා පෞද්ගලිකව ඉතා විරුද්ධ බවත් එය ඉදිරියට නරක පූර්වාදර්ශයක් විය හැකි බවටත් කරුණු ඉදිරිපත් කළ අතර රුධ්‍රා රාජසිංහම්ගේ පියා සමගි ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වූ බණ්ඩාරනායක ඔහු නිහඬ කර ඇත්තේ ( Rudra, I belive your father would have far intelegent than you “(රුද්‍රා මම විශ්වාස කරනවා ඔබේ පියා ඔබට වැඩියෙ හුඟාක් බුද්ධිමත් කියල” ) යනුවෙන් හාස්‍යජනක ප්‍රකාශයක්ද සිදු කරමිනි.

අබේකෝන් පුරා වසර හතරක් 4 ක් පොලිස්පතිවරයා ලෙස රාජකාරී කළේය. එහෙත් බහුතරයගේ මතය වී ඇත්තේ ඔහු නාමිකව පොලිස්පති ධූරය දැරුවද පොලිසිය පාලනය කළේ වෙනත් බාහිර බලවේග බවයි. මෙම කාල සීමාව “හොඳකුත් නැති නරකකුත් නැති ” පතෝල පන්නයේ කාලසීමාවක් බව මෙම වකවානුවට අදාළ පොලිස් ඉතිහාසය හදාරන විට ඉතා පැහැදිලි වන කරුණකි.රුද්‍රා රාජසිංගම් එදා පැවසු ආකාරයටම බණ්ඩාරනායක විසින් ගනු ලැබූ මෙම අඥාන තීරණය හේතුකොට ආරක්ෂාව සම්බන්ධව කිසිදු අදහසක් නැති පොලිස්පතිවරයෙකුගේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ පොලිසියේ ආරක්ෂක හිදැස් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය නිවසේදීම ඝාතනය වීමත් එතුමාගේ ඝාතනයෙන් පසු ඉතා අරාජික රාජ්‍ය පාලනයක් මෙරට බිහිවීමත් අවසානයේ හමුදා සහ පොලිස් ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් 1962′ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ආරම්භ වීමත් මෙම තීරණයේ ආනිශංස බව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන වියතුන්ගේ මතයයි.

Social Sharing
අවකාශය පුවත්