මීගමු බන්ධනාගර සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5 සහ 6 දිනවල ඇති වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) රජයෙන් ඉල්ලා තිබේ.

ජූලි 8 දින නිකුත් කළ නිවේදනයකදී නීතිඥ සංගමය සඳහන් කරන්නේ, මෙම සිදුවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් ඇති බවත්, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්ය. බන්ධනාගාර තුළ සිදුවන ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නීතියේ ආධිපත්‍යයට හානි කරන අතර, යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසයද බිඳ දමන බව නීතිඥ සංගමය අවධාරණය කරයි.

මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් කවුරුන් වුවද රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් හෝ වෙනත් පාර්ශ්වයන් නීතියට අනුව වගකීමට යටත් කළ යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. එමෙන්ම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිගන්නා අතර, එම විමර්ශනයේ විශ්වාසනීයත්වය රඳා පවතින්නේ එය ස්වාධීනව, අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් සහ කඩිනමින් සිදු කිරීම මත බවද සඳහන් කරයි.

තුවාල ලැබූවන්ට කඩිනම් සහ ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත්, මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සම්පූර්ණ නිවේදනය පහතින්

BASL STATEMENT ON THE INCIDENTS AT NEGOMBO PRISON

Social Sharing
නවතම පුවත්