
ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ‘Settebello’ නමැති වාණිජ තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ඇමෙරිකාවට දැඩි රාජ්‍යතාන්ත්‍රික විරෝධයක් පළ කර තිබේ. මෙම සිද්ධියෙන් පසු නවදිල්ලියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරී ජේසන් මීක්ස් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා නිල විරෝධතා පත්‍රයක් භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේදී නෞකාවේ ඉන්දීය ජාතික නාවික සේවකයින් 24 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් 21 දෙනෙකු බේරාගෙන තිබේ. කෙසේ වෙතත් තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ඔවුන් සොයා ගැනීම සඳහා ඕමාන් බලධාරීන් සමඟ එක්ව සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාව අවධාරණය කර ඇත්තේ අන්තර්ජාතික මුහුදු සීමාවන් තුළ වාණිජ නෞකා සහ සිවිල් නාවිකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙවැනි හමුදාමය ක්‍රියාකාරකම් කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න කරන බවයි. එමෙන්ම වාණිජ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව සහ නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දියාව ඇමෙරිකාවෙන් ඉල්ලා තිබේ.
ඇමෙරිකානු හමුදා පාර්ශවය පවසා ඇත්තේ නෞකාව ඉරානය සම්බන්ධ තෙල් ප්‍රවාහනයක් සිදු කරමින් සිටි අතර, ලබාදුන් උපදෙස්වලට අනුගත නොවූ බැවින් “නිශ්චිත ඉලක්කගත ප්‍රහාරයක්” එල්ල කළ බවයි.
මෙම සිදුවීමත් සමඟ මැද පෙරදිග කලාපයේ දැනටමත් පවතින ආරක්ෂක අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති අතර, අන්තර්ජාතික මුහුදු ගමනාගමනයේ ආරක්ෂාව පිළිබඳවද නව අවධානයක් යොමුවී තිබේ.
