ඉරානයෙන් ඇමරිකානු කඳ­වුරු ඇතුළු ඉලක්ක 21කට ප්‍රහාර!

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ අනෙකුත් ඉලක්ක 21කට පහර දුන් බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කර තිබේ.

ඉරාන ආරක්ෂක හමුදාව නිකුත් කළ නිවේදනයට අනුව, බහරේන් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු පස්වැනි නාවික බලඇණිය සහ ජෝර්දානයේ අමෙරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම කුවේට්, ජෝර්දානය සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවද ඉරානය පවසයි. කෙසේ වෙතත්, එම ප්‍රහාර හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.

ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකානු රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ජෝර්දාන හමුදාව සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ මිසයිල පහක් සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බිම හෙළීමට සමත් වූ බවයි.

එමෙන්ම බහරේන් සහ කුවේට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සිය ආරක්ෂක පද්ධති මගින් ඉරාන ප්‍රහාර වළක්වා ගැනීමට හැකි වූ බවය.

මෙම සිදුවීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, ඉරානය සහ අමෙරිකාව අතර පවතින ආතතිය නව මට්ටමකට ළඟා වී ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්