ඌව පළාතේ අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය ඉහළට!

මෙරට අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දපෝෂණය වැඩිම වශයෙන් වාර්තා වන්නේ ඌව පළාතෙන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පෝෂණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ පා ගමනට සමගාමීව බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ මන්දපෝෂණය පමණක් නොව, අධිපෝෂණය හෙවත් අනවශ්‍ය ලෙස ශරීර බර වැඩිවීමේ ගැටලුව ද ඌව පළාත තුළ සැලකිය යුතු මට්ටමකින් පවතින බවයි.

ඇය පෙන්වා දුන්නේ නිසි පෝෂණය පිළිබඳ ජනතාවගේ දැනුම ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

“දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර නිසි ලෙස ලබාදීම මෙන්ම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම ඉතා වැදගත්,” යැයි ඇය අවධාරණය කළාය.

පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ, මන්දපෝෂණය දරුවන්ගේ කායික වර්ධනයට මෙන්ම බුද්ධිමය සංවර්ධනයට ද අහිතකර ලෙස බලපාන අතර, අධිපෝෂණය අනාගතයේ දියවැඩියාව, හෘද රෝග සහ වෙනත් බෝ නොවන රෝග සඳහා අවදානම වැඩි කළ හැකි බවයි.

මේ හේතුවෙන් නිසි ආහාර පුරුදු, සමබල ආහාර වේලක් සහ පෝෂණය පිළිබඳ ජනතා දැනුවත්භාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව වෛද්‍යවරුන් විසින් යළිත් අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම පුවත්