වධහිංසනයට, මර්දනයට ඉඩ දෙන යුක්තිය අපගමනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

යුද හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පනත පිළිබඳ යළිත් සමාජ හා දේශපාලන අවධානය යොමු වී ඇති බව පෙන්වා දෙන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, මෙම මර්දනකාරී නීතිය වහා අහෝසි කළ යුතු බව අවධාරණය කරයි.

එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සුරේෂ් සලේ මහතා පමණක් නොව, ආරුගම්බේ බෝම්බ බිය සම්බන්ධ සිදුවීම්වල සිට ඊශ්‍රායලයට එරෙහිව පෝස්ටර් ඇලවීම වැනි ක්‍රියාකාරකම් දක්වා විවිධ කරුණු සම්බන්ධයෙන් PTA පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති බවයි.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුව බලයට පත්වීමට පෙර PTA ඇතුළු මර්දනකාරී නීති අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු ලබා දී තිබුණද, එම පොරොන්දු ඉටු කිරීම වෙනුවට අද වන විට එම නීති අඛණ්ඩව භාවිතා කරමින් සිටින බවයි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, එමගින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුව ඇති බවද සංවිධානය පෙන්වා දෙයි. විශේෂයෙන් අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් දිගුකාලීනව රඳවා තබා ගැනීම, කායික හා මානසික වධහිංසනයට ලක්වීම සහ අමානුෂික සැලකිලිවලට මුහුණ දීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ චෝදනා එල්ල වී ඇති බව එහි සඳහන් වේ.

PTA පනත මුලින්ම දෙමළ ජනතාව ඉලක්ක කර භාවිත කළ අතර පසුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන්, නැවත දෙමළ ප්‍රජාව, මුස්ලිම් ජනතාව සහ වර්තමානයේ සිංහල සමාජයේ විවිධ පාර්ශ්වයන් දක්වා එහි බලපෑම ව්‍යාප්ත වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මෑතකදී දෙමළ ගායන ශිල්පියෙකු PTA යටතේ අත්අඩංගුවට ගැනීම සහ සුරේෂ් සලේ මහතා රඳවා තැබීමේදී වධහිංසන සිදුව ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින් කරුණු අනාවරණය වීම, මෙම නීතියේ භාවිතය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කරන බවද සංවිධානය පෙන්වා දෙයි.

අධිකරණ මැදිහත්වීමකින් තොරව විධායක බලය මත පුරවැසියන් රඳවා තැබීමට හැකිවීම නීතියේ පාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි බවත්, එවැනි අත්තනෝමතික බලතල වධහිංසන හා අමානුෂික සැලකිලි සඳහා ඉඩකඩ සලසන බවත් එහි අවධාරණය කර ඇත.

එමෙන්ම, ඊශ්‍රායලයට එරෙහිව පෝස්ටර් ඇලවීමක් සම්බන්ධයෙන් PTA යටතේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද පොලිසියට නිර්දේශ නිකුත් කර තිබූ බවද සිහිපත් කරයි.

PTA වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පතක් සකස් කිරීමේ උත්සාහයන් පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් ගෙන තිබුණද, එම කෙටුම්පත්වල ද මර්දනකාරී ප්‍රතිපාදන අන්තර්ගත වීම හේතුවෙන් ඒවා සාර්ථක නොවූ බව සංවිධානය සඳහන් කරයි.

එබැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මාර්ගෝපදේශවලට අනුකූලව, මානව හිමිකම් ආරක්ෂා කරන, අධිකරණ අධීක්ෂණය සහතික කරන නව නීතිමය රාමුවක් සම්බන්ධයෙන් සිවිල් සමාජය සමඟ වහාම පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතු බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අවධාරණය කරයි.

එමෙන්ම PTA යටතේ සිදුකරන රඳවා ගැනීම් වහා නතර කරන ලෙසත්, දැනට රඳවා සිටින පුද්ගලයන්ට මානුෂීයව සැලකීමට කටයුතු කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව චෝදනා තිබේ නම් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොමැති නම් වහාම නිදහස් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මතය වන්නේ, වත්මන් ආණ්ඩුව ද මීට පෙර පිළිගත් පරිදි PTA පනත දරුණු මර්දනකාරී නීතියක් වන අතර, එය අහෝසි කිරීම සඳහා සුදුසුම අවස්ථාව දැන් උදා වී ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්

Media Statement-2026-06-09

Social Sharing
නවතම පුවත්