
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති බවට හෙළි වේ.
මෙලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියා කලාපය බරපතළ ලෙස විවේචනය කරමින් දෝෂදර්ශනයට ලක් කර ඇත්තේ අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.
එම සංසදයේ සභාපතිනි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම ජූනි 5 වන දා පවත්වා ඇති අතර ඒ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග අමරසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් නිර්මාණී අමරතුංග, බස්නාහිර පළාත් පරිවාස කොමසාරිස්වරිය සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු බස්නාහිර පළාතේ උසස් නිලධාරින් රැසක් මෙන් ම නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා තිබිණ.
මෙම රැස්වීම ආරම්භයේදී ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය අමතමින් පවසා ඇත්තේ, දැරියක දූෂණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසියේ විමර්ශන පිළිබඳව විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බව ය.
තමන් ද මෙම විෂය පිළිබඳව හොඳින් දන්නා බව ද ප්‍රකාශ කර ඇති නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය, මසක් වැනි කෙටි කලක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බව ප්‍රකාශ කර තිබේ. සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට ‘කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදුවූ’ බව ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කර ඇති මන්ත්‍රීවරිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට බලපෑම් එල්ල වූයේ නම් එසේ බලපෑම් කළේ කවුරුන් ද යන්න හෙළි කරන ලෙස ද ඉල්ලා තිබිණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්යෂකවරිය පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කළ කරුණු දැක්වීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිහඬ වී ඇති පසුබිමක යූටියුබ්කරුවන්ට ආයුධ සපයමින් රජය සහ පොලිසිය පිළිබඳව සමාජය තුළ වැරදි මතයක් ජනගත කිරීමට වෙර දරා ඇති බව ද ප්‍රකාශ කොට තිබේ.
මන්ත්‍රීවරියගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරිය පවසා ඇත්තේ, ළමාරක්ෂක ආඥා පනතට අනුව, මෙවැනි සිද්ධියකදී වින්දිත පාර්ශවයට නිසි අයුරින් යුක්තිය ඉටු වන්නේ ද යන්න විමසා බැලීම සහ එලෙස යුක්තිය ඉටු නොවන අවස්ථාවකදී ඊට මැදිහත්වීම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ව්‍යවස්ථාපිත වගකීමක් බව ය. මෙම සිද්ධියේදී තම අධිකාරිය ඉටු කළේ එම රාජාකාරි නිල කටයුත්ත පමණක් බව ද අධ්‍යක්ෂවරිය පවසා තිබේ. සැකකාර හිමනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බලපෑම් කළේ කවුරුන් දැයි මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ සජීවනී අබේකෝන් පවසා තිබුණේ, බලපෑම් එල්ල කළේ කවුරුන් ද යන්න තමන් නොදන්නා බවත්, එහෙත්, තම අධිකාරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු දක්වා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ලබාගන්නා තුරු පොලිසිය සැකකරු අත්අඩංගුවට නොගත් බවත් ය.
සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණ නියෝග ලබා ගන්නා තුරු පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම මසක කාලයක් මග හැරියේ යම් බලපෑමක් නිසා විය හැකි බව ද ඇය සඳහන් කර තිබේ.
නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂවරියට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර දැඩි ස්වරයකින් පවසා ඇත්තේ, ‘අහන දේට පමණක් උත්තර දෙන’ ලෙස ය.
ජාතික ළමාරක්ෂක අධිකාරියට එල්ල කෙරෙන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් තම අධිකාරිය මෙම සාකච්ඡාවට සහභාගි වීමෙන් ඵලක් නැති බව නීතීය බලගැන්වීමේ අධ්‍යකෂවරිය ප්‍රකාශ කළ අවස්ථාවේ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර යළි විමසා ඇත්තේ, මෙම සිද්ධියට අදාළ නඩුව විනිසුරු නිල මැදිරියේ නොකැඳවා විවෘත අධිකරණයේ කැඳවූයේ මන්ද යන්න ය. ඊට පිළිතුරු දෙමින් නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය සඳහන් කර ඇත්තේ, මෙම නඩුව කැඳවූ අවස්ථාවේ වින්දිත දැරිය අධිකරණයට නොකැඳවා තිබූ හෙයින් නඩුව විනිසුරු නිල මැදිරියේ කැඳවීමේ අවශ්‍යතාවක් නොතිබූ බව ය.
මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසා ඇත්තේ, දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කළ කරුණු දැක්වීම හේතුවෙන් රජය සහ පොලිසිය දැඩි අපහසුතාවට පත්වූ බව ය. ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් මෙවැනි සිද්ධීන්ට අදාළ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වැළැක්විය යුතු බව ද ඔහු පවසා තිබේ.
සැකකාර හිමිනම ඇප මත මුදා හැරීමට පොලිසිය විරුද්ධ වූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පැවසූ අවස්ථාවේදී නීතීය බලගැන්වීමේ අධ්යක්ෂ සජීවනී අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ, සැකකාර හිමිනමට ඇප ලබා දීමට පොලිසිය කිසිදු විරුද්ධත්වයක් නොදැක්වූ බව ය.
පොලිසිය සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය අතර පවතින මෙම ගැටුම්කාරී තත්ත්වයට හොඳ ම විසදුම මෙම නඩුව නීතීපති දෙපාර්තමේන්තුවට භාර දීම බව මෙහිදී ප්‍රකාශ කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර, මෙම රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව යමෙකු මාධ්‍යයට හෙළි කළහොත් එම නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කරන බව ද තරයේ දැනුම් දී ඇත.
15 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කරන විමර්ශනවලදී අධිකරණ නියෝගවලට අනුව ම කටයුතු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන් අතර, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට කටයුතු කරන ලෙසට ද ඉල්ලීමක් කෙරුණු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන් ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි.
වින්දිත දැරියගේ අධයාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කිරීමට කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජික මන්ත්‍රීවරියන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) හසාරා ලියනගේ, (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ (නීතිඥ) සාගරිකා අතාවුද මෙම රැස්වීමට සහභාගි වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ (නීතිඥ) අනුෂ්කා තිලකරත්න ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වූහ.
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?
පහත අංක අමතා සහය ලබා ගන්න.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය – 1929
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
දුරකතන අංකය – 011-2444444
හදිසි ඇමතුම් අංකය – 109
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
ළමා උපකාරක සේවය – 1938
උපුටා ගැනීම BBC සිංහල
