
2025 වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නිර්මාණාත්මක සාහිත්‍ය කෘතිය වෙනුවෙන් පිරිනැමෙන කීර්තිමත් 33 වැනි ග්‍රේෂන් සම්මානය, නීතිඥ, සිවිල් ක්‍රියාකාරික, චිත්‍රපට අධ්යක්ෂ සහ ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචිත “The Son and the Lover” නවකතාවට හිමිව තිබේ.
මෙම සම්මාන ප්රදානෝත්සවය 06 වන ද රාත්‍රියේ කොළඹ පිහිටි Cinnamon Life පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ග්‍රේෂන් සම්මාන ඉතිහාසයේ දෙවැනි වරටත් මෙම සම්මානය දිනාගත් එකම පුද්ගලයා ලෙස විසාකේස චන්ද්‍රසේකරම් වාර්තා අතරට එක්ව තිබේ. ඔහු මීට පෙර 1999 වසරේදී රචිත “Forbidden Area” නාට්‍ය කෘතිය වෙනුවෙන් ද හවුල් ජයග්‍රාහකයෙකු ලෙස ග්‍රේෂන් සම්මානය දිනාගෙන ඇත.
මෙවර ග්‍රේෂන් සම්මානය සඳහා අවසන් වටයට තේරී තිබූ කෘති අතර “Dear Father; The Refugee” (ඇලන් ද කොස්තා), “God, Bangles and a Constitution” (එකෙලි අනුත්තරා), “In the Curve of the Smile” (උවිනි අටුකෝරාල) සහ “The Son and the Lover” ඇතුළත් විය.
1992 වසරේදී ලෝකප්‍රකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලේඛක මයිකල් ඔන්ඩච්චි විසින් ග්‍රේෂන් සම්මානය ආරම්භ කරනු ලැබීය. ඔහුගේ ප්‍රකට The English Patient නවකතාව වෙනුවෙන් හිමි වූ බුකර් ත්‍යාග මුදල උපයෝගී කරගනිමින් මෙම සම්මානය ස්ථාපිත කර තිබේ. සම්මානය නම් කර ඇත්තේ ඔහුගේ මව වූ ඩොරිස් ග්‍රේෂන් සිහිපත් කරමිනි.
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නිර්මාණාත්මක සාහිත්‍ය ක්ෂේත්රයේ ඉහළම ගෞරවයක් ලෙස සැලකෙන ග්‍රේෂන් සම්මානය, දේශීය ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණශීලීත්වය හා කලාත්මක විශිෂ්ටත්වය අගය කිරීමේ අරමුණින් වාර්ෂිකව පිරිනමනු ලබයි.
