ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300කට වැඩි ප්‍රමාණයකට නීතිමය පියවර ඉදිරියේ දී!

ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් තවමත් නිල වශයෙන් ලියාපදිංචි කර නොමැති බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය අනාවරණය කරයි.

එම කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා පවසන්නේ මේ වන විට දිවයින පුරා වැඩිහිටි නිවාස 456ක් ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇති නමුත් ඒ අතරින් නිසි මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි කර ඇති සංඛ්‍යාව 148ක් පමණක් බවයි.

ඒ අනුව වැඩිහිටි නිවාස 300කට අධික සංඛ්‍යාවක් තවමත් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන බව තහවුරු වී තිබේ.

මෙතෙක් එම නිවාස ලියාපදිංචි කර නියමිත ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අදාළ හිමිකරුවන්ට දැනුම් දී තිබුණද, බොහෝ ස්ථාන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද සඳහන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සඳහා නිශ්චිත කාලසීමාවක් ලබාදීමටත්, එම කාලසීමාව තුළ ලියාපදිංචිය සම්පූර්ණ නොකරන ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් තීරණය කර ඇති බව ජාතික මහලේකම් කාර්යාලය පවසයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ උපදෙස් මත මෙම තීරණයට එළැඹ ඇති අතර, අදාළ කාලසීමාව තීරණය කිරීමෙන් පසු ලියාපදිංචි නොකළ සියලුම වැඩිහිටි නිවාස වෙත ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්