ගීතයක් නිර්මාණය කළ තරුණ සංගීතඥයා PTA යටතේ රිමාන්ඩ්!

යුද සමයේ මියගිය උතුරේ ජනතාව අනුස්මරණය කරමින් ගීතයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් කිලිනොච්චියේ 24 හැවිරිදි තරුණ සංගීතඥයෙකු වන ගනේෂකුමාර් සංකීතන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ලබන මාසය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් දැඩි විරෝධය පළ කරමින් සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ, කලාත්මක ප්‍රකාශන නිදහස සහ මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීමේ අයිතිය වැනි මූලික මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සඳහා පවා PTA වැනි දැඩි නීති භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි බවයි.

මානව හිමිකම් සංවිධාන කිහිපයක් ද මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති අතර, එය කලාකරුවන්ගේ සහ තරුණයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක් ලෙස හඳුන්වා දී තිබේ.

විවේචකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ද දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මෙවැනි සිද්ධීන් හරහා තවදුරටත් කලාත්මක හා දේශපාලන අදහස් ප්‍රකාශනය මර්දනය කිරීම සඳහා භාවිත වන බවට චෝදනා මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය හෝ ආරක්ෂක අංශ විසින් නිල වශයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ කරුණු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

උපුටා ගැනීම Leader.lk

Social Sharing
නවතම පුවත්