ඉහළ පෙළේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ සූදානමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය!

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය ගන්නා බව කියන උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර සිටී.

මෙවැනි අත්තනෝමතික පියවරක් මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව පවතින මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු වනු ඇතැයි එම සංගමය ජනාධිපතිවරයාට අනතුරු අඟවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කළ දා සිට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් පවතී. එම සීමාවන් අත්තනෝමතික ලෙස වෙනස් කිරීම කිසිසේත්ම අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව පෙන්වා දෙන නීතිඥ සංගමය, හුදෙක් මෙම කාරණය උදෙසා පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිටුපස ඇති රජයේ සැබෑ චේතනාව ජනතාවගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දැනටමත් අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් ඉහළ නංවා තිබේ. එලෙස විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කර ඇති පසුබිමක, අධිකරණයේ කාර්යභාරය පදනම් කරගනිමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තවදුරටත් දීර්ඝ කිරීමේ කිසිදු සැබෑ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

බලයේ සිටින රජයන් සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන මෙවැනි තාවකාලික සංශෝධන, අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද සෘජු තර්ජනයකි. මෙම අවස්ථාවේදී මෙවැනි පියවරක් ගැනීම, අධිකරණයට අතපෙවීමට රජය ගන්නා පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සලකනු ලබන අතර, එය එම ගෞරවනීය විනිසුරුවරුන්ට කරනු ලබන නිග්‍රහයක් බවද නීතිඥ සංගමය පවසයි. එසේම, මෙය අනාගත රජයන්ට ද අධිකරණයේ කාර්යයන්ට ඇඟිලි ගැසීම සඳහා ඉතා භයානක පූර්වාදර්ශයක් සපයනු ඇත.

අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය කිසිදු දේශපාලන අනුග්‍රහයක්, එකඟතාවක් හෝ බලපෑමකින් තොර බව ජනතාවට ද පැහැදිලිව පෙනී යා යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එබැවින්, ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික රාමුව සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම උදෙසා, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අපේක්ෂා කරන කිසිදු යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිවරයාගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටී.

Social Sharing
නවතම පුවත්