
මඩකලපුව ඒරාවුර් ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ 14 හැවිරිදි සහෝදරයා ඊයේ (30) අත්අඩංගුවට ගත් බව ඒරාවුර් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි සත්‍යානන්දන් සදීෂා නමැති 11 හැවිරිදි පාසල් සිසුවියකි.
පසුගිය 28 වනදා දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ පිහිටි ජල ටැංකියක තිබී සොයාගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දුරකතනයක් සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.
වාර්තා වන ආකාරයට, සිද්ධිය සිදුවූ අවස්ථාවේ දරුවන්ගේ මව විදේශගතව සිට ඇති අතර, පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් සිට ඇත. එම පසුබිම තුළ සැකකාර සිසුවා සිය නැගණියගෙන් දුරකතනය ඉල්ලා ඇති අතර, ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබේ.
පසුව පියා නිවසට පැමිණ දරුවන් සොයා බැලීමේදී සිය දියණිය නානකාමරයේ ජල ටැංකිය තුළ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති බව සඳහන් වේ. ඇය වහාම රෝහල්ගත කර තිබුණද ඒ වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී 14 හැවිරිදි සහෝදරයා විසින් සිය නැගණිය ඝාතනය කළ බවට ප්‍රකාශ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
