
අනුරාධපුරයේ විභාග වන බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජන නඩුවේ වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක ලෙස නම් කරන ලෙසත්, දැරියගේ පියාට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් ‘ගැමි කාන්තා පෙරමුණ’ ඉල්ලීමක් කරයි.
එම සංවිධානය පවසන්නේ, දැරියගේ පියා ඇතුළු පාර්ශ්වය දැඩි ආර්ථික හා සමාජීය අසරණභාවයක පසුවන බැවින්, ඔවුන්ට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.
‘ගැමි කාන්තා පෙරමුණේ’ ප්‍රජා නීති සහාය ඒකකය (CLSU) නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නීතීඥ මනෝජා ගුරුගේ, නීතීඥ හෂානි පතිරණ ඇතුළු නීතීඥ කණ්ඩායමක් 2026 මැයි 22 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටියහ.
නඩු විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය ඔවුන්ගේ නීතිමය පෙනී සිටීම අභියෝගයට ලක් කළ ද, වින්දිත දැරියගේ අයිතිවාසිකම් සහ මහජන උනන්දුව පදනම් කරගනිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට එම නීතීඥ කණ්ඩායම සමත් වී ඇත.
නඩු විභාගයෙන් අනතුරුව ‘ගැමි කාන්තා පෙරමුණ’ නිකුත් කළ සටහනක සඳහන් වන්නේ, “අපි හරි දුප්පත්. අලි ගහන පැත්තක ජීවත් වෙන්නෙ” යනුවෙන් දැරියගේ පියා තමන් වෙත දැඩි සංවේගයෙන් කරුණු පැවසූ බවයි.
ඒ අනුව වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක ලෙස නම් කිරීමත්, පියා සහ පවුලේ පාර්ශවයට සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මඟින් වහාම ආරක්ෂාව සැලසීමත් අත්‍යවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ ය. මෙසේ නියම කළේ, මෙම සිද්ධියට අදාළ නඩුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මැයි 22 වෙනිදා යළි කැඳවූ අවස්ථාවේදී ය.
