බටපොල ඝාතන නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම!

බටපොල ප්‍රදේශයේ 2007 වසරේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් පස්දෙනෙකු වැරදිකරුවන් බවට තීරණය කළ බලපිටිය මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති, සිද්ධ මරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග යන බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනාටය.

බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විසින් ඉකුත් සිකුරාදා (22) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ 2007 ජූලි 29 වන දින පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී බටපොල, බටදූව ප්‍රදේශයේ පදිංචි ජී. මංජුල නැමැති පුද්ගලයාට විත්තිකරුවන් විසින් පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බවය.

විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු පියෙකු සහ පුතෙකු වන බවද වාර්තා වේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මත විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

මෙම නඩුවේ පැමිණිල්ල රජයේ නීතිඥ හිරුණි ගුණතිලක විසින් මෙහෙයවූ අතර, මීටියාගොඩ පොලිසිය විසින් සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.

Social Sharing
අවකාශය පුවත්