බංගලාදේශයේ සරම්ප වසංගතයෙන් දරුවන් 500කට අධික පිරිසක් මරුට!

බංගලාදේශය තුළ සරම්ප රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් මේ වනවිට දරුවන් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවන අන්දමට, ඩකා අගනුවර රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, සරම්ප රෝගීන් සඳහාම විශේෂ වාට්ටුද ස්ථාපිත කර තිබේ. එහෙත් දැඩි සත්කාර ඒකකවල (ICU) ඇඳන් හිඟය හේතුවෙන් වෛද්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් වේ.

බංගලාදේශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, ගත වූ පැය 24 තුළ පමණක් දරුවන් 13 දෙනෙකු මියගොස් ඇති අතර, මාර්තු 15 සිට මේ දක්වා වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 512 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වසංගතය පාලනය කිරීම සඳහා රටපුරා මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, UNICEF හි බංගලාදේශ ප්‍රධානී රනා ෆ්ලවර්ස් පවසන්නේ මේ වනවිට දරුවන් මිලියන 18කට එන්නත් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම එන්නත්කරණ වැඩසටහනේ සම්පූර්ණ ප්‍රතිඵල දැකීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ, 2024 වසරේ බංග්ලාදේශයේ පැවති මහජන නැගිටීම් සහ දේශපාලන අස්ථාවරතාව හේතුවෙන් දරුවන්ට නිසි කලට එන්නත් ලබාදීමේ වැඩසටහන් අඩාල වූ බවයි. එම තත්ත්වය හේතුවෙන් විශාල දරුවන් පිරිසකට රෝගයෙන් ආරක්ෂාව අහිමි වී ඇතැයි ද සඳහන් වේ.

සරම්ප යනු කැස්ස සහ කිවිසුම් මඟින් ඉතා වේගයෙන් බෝවන වෛරස් රෝගයක් වන අතර, එයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බව වෛද්‍යවරුන් පවසයි. රෝගය උත්සන්න වුවහොත් මොළය ඉදිමීම, දරුණු ශ්වසන අපහසුතා සහ ජීවිතාන්තය දක්වා බලපාන සංකූලතා ඇතිවිය හැක.

සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ, මෙම වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිසි පරිදි එන්නත් ලබා නොමැති වීම සහ දුර්වල පෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තිය අඩුවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

දැනට වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය මාස 6ත් අවුරුදු 5ත් අතර වයසේ දරුවන් වන අතර, රෝහල් වෙත ඇතුළත් කරන විටත් බොහෝ දරුවන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

Social Sharing
නවතම පුවත්