මේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන් වහන්සේලාත් වගකියන්න ඕනෑ! – චන්ද්‍රජෝති හිමි

හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක

ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා.

ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන් හැටියටත් රටක පුරවැසියන් හැටියටත් බරපතළ ලෙස තේරුම් ගත යුතුව පවතිනවා.

අපි කවුරුත් දන්නවා ලෝකයේ ප්‍රබල ආර්ථිකයක් තිබෙන රට හැටියට ඇමෙරිකාව ඉදිරියෙන් ඉන්නවා. ඒකට අභියෝග කරන ඊළඟ බලවන්තයා හැටියට චීනය ඇමෙරිකාවට අභියෝගයක් වෙමින් පවතිනවා. සාමන්‍යයෙන් ඇමරිකාවේ ආර්ථිකයට වඩා ට්‍රිලියන හතක් අඩුවෙන් චීනය තියෙනවා කියලා තමයි විශ්ලේෂකයො කියන්න.

ඒ වගේම මේ මොහොතේ කොරොනා තත්වයත් එක්ක ඇමෙරිකාව බරපතළ විදිහේ ඍණ ආර්ථිකයක් දක්වා පසු බැසීමට ලක් වෙලා තියෙනවා. ඒ බලපෑම එලෙසම චීනයටත් සිද්ධ වුණා. නමුත් මේ ප්‍රශ්නෙදි කොරොනා තත්ත්වයට මුහුණ දීලා නැවත ආර්ථික ශක්තිය ගොඩනගාගන්න චීනයට හැකියාවක් ලැබිලා තියෙනවා.

ඉතින් මේකත් එක්ක ඇමෙරිකාව චීනයට එරෙහිව එහෙම නැත්නම් විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ තමන්ගේ දේශපාලනික, යුධමය මැදිහත්වීම ප්‍රබල කරල තියනවා. ඒ ප්‍රභලත්වය, මැදිහත්වීම තමයි අපට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය දූත කණ්ඩායමක් ඉන්දියාව, ලංකාව, මාලදිවයින, ඉන්දුනීසියාව දක්වා මේ කලාපයේ රටවල් වලට පැමිණෙන්නෙ.

ඔවුන්ගේ භූගෝලීය සිතියමට අනුව හෙට දවසේ ඇත්තටම ලෝක යුද්ධයක් ආරම්භ වීමේ පෙර නිමිති තමයි මේ පෙන්නන්නෙ. එවැනි තත්ත්වයක් ඇතුළෙ තමන්ගේ යුද මෙහෙයුම, යුද සූදානම තමයි ඔවුන් මේ හරහා සිද්ධ කරමින් පවතින්නෙ. ඉතින් එහි ප්‍රතිඵලයක් විදියට තමයි එක පැත්තකින් චීනයත් ඒ වගේම ඇමෙරිකාවත් මැදිහත්වන්නෙ.

අපි දන්නවා චීනයේ ආධාර මුදල් විදියට, ණය විදිහට විශාල වශයෙන් මුදල්, අපේ රට අරගෙන තියෙනවා. ඒ වගේම චීන අනුග්‍රහය යටතේ ලංකාව තුළ විවිධ ව්‍යාපෘති සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ ණය දීම්, චීන ව්‍යාපෘති හරහා චීනයේ උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද ? ඒ වගේම මේ දේවල් ලංකාවේ අනාගත දේශපාලනයට, ආර්ථිකයට ඇති කරන්න පුළුවන් බලපෑම මොකක්ද?

හම්බන්තොට වරාය, පෝට් සිටි ව්‍යාපෘතිය, අනෙකුත් මහා මාර්ග ව්‍යාපෘති වගේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් චීනය කරනවා. ලංකාව තුළ විතරක් නෙමෙයි චීනය ගොඩක් රටවල් තුළ කරපු ව්‍යාපෘතිවල  අරමුණු දෙකක් තියෙනවා.

එකක් තමයි ආර්ථිකමය අරමුණ, අනෙක් පැත්තෙන් යම් හෙයකින් චීනයට ලෝක යුද තත්ත්වයක් නිර්මාණය වුණොත්, දැන් උදාහරණයකට හම්බන්තොට වරාය ඔවුන් අනූ නව අවුරුද්දකට බදු දීලා ගන්නකොට ඒකෙන් රටට ඩොලර් මිලියන ප්‍රමාණයක් හම්බ වෙනවා වගේම යම් හෙයකින් හෙට දවසේ ලෝක යුද්ධයක් ඇති වුනොත් හම්බන්තොට වරාය චීන යුධ මධ්‍යස්ථානයක් හැටියට පාවිච්චි වෙනවා. හෙට දවසේ යම්කිසි යුද්ධයක් හටගත්තොත් අනිවාර්යෙන් පෝට් සිටි භූමිය චීනය භාවිතා කරන්න පටන් ගන්නවා.

මේ වගේ ගත්තට පස්සේ එහෙම නැත්තං අපි හිතමු මත්තල ගුවන්තොටුපල ඉන්දියාව ඉල්ලන එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්තං ඇමරිකාව ලංකාවට කරන බලපෑම වෙන්න පුළුවන්, අපිට දේශපාලනඥයෝ කුමන විදියට මේක වර්ගීකරණය කරල කිව්වත් අපිට පේන දැනෙන දේ තමයි මේ කෙටිකාලීනව ලැබෙන ඩොලර් ප්‍රමාණය විතරයි ඔවුන් හිතන්නෙ.

ඒ ඩොලර් ණය ගන්න ප්‍රමාණයෙන් ඔවුන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගනවා වෙනුවට ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය ශක්තිමත් කරගන්න, උදාහරණයක් විදියට ගත්තොත් තමන්ට අවශ්‍ය කරන අණපනත් තමන්ට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න, පාර්ලිමේන්තුව ඇතුළේ බල හුවමාරුවේදී මන්ත්‍රීවරු මිලදී ගන්නට පවා ඔවුන් ඒ මුදල් වියදම් කරනවා.

තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන්, පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරනවා ඇරෙන්න වෙන කිසිවක් ඔවුන් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ආර්ථිකමය වශයෙන් යුධමය වශයෙන් බරපතළ ලෙස හිරවීමකට ලක් වුණු රටක් ලංකාව.

චීනය, ඇමරිකාව ඒ වගේම ඉන්දියාව, රුසියාව මේ ප්‍රබල රටවල් එක්ක කරන ගනුදෙනුවේදී විශාල ව්‍යසනයක් ඉදිරිපිට සිටින රටක් විදියට ලංකාව අපිට හඳුනගන්න හැකියාවක් තියෙනවා.

ලංකාවේ අධිරාජ්‍යවාදය කියන මාතෘකාව ගැන කතා කරද්දී දේශපාලනඥයින් ඒ වගේම සාමාන්‍ය ජනතාව වුනත් ඒක දකින්නේ එක් පැත්තකින් විතරයි. අපි කිව්වොත් ඇමරිකානු එහෙමත් නැත්නම් වෙනත් යුරෝපා බලවතුන්ගෙන් එල්ල වෙන බලපෑම විදියට තමයි අධිරාජ්‍යවාදය හඳුනාගන්නේ. මේ හඳුන්වාදීම කොයිතරම් දුරට නිවැරදි කියලා ඔබවහන්සේ හිතෙනවා ද?

අධිරාජ්‍යවාදය කියලා අපි හිතුවට පස්සේ ඇත්තටම කාලාන්තරයක් තිස්සේ ලංකාව තුළ නඩත්තු කරපු, පෝෂණය කරපු ජන මානසිකත්වයට තහවුරු කරපු එකක් තියෙනවා මේ අධිරාජ්‍යවාදීන් නම් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විතරයි කියන එක.

ඇත්තටම ඒක අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ලංකාව තුළ කියවා ගැනීම සම්බන්ධයෙන් තිබෙන බරපතළ දෝෂ සහිත කාරණාවක් විදියට තමයි අපි දකින්නේ. විශේෂයෙන් මම හිතන්නේ අධිරාජවාදී කියන එක ඇමරිකානු වෙන්න පුළුවන් ඒක රුසියාව වෙන්න පුළුවන් එක චීන හෝ ඉන්දියානු වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජපානය වෙන්න පුළුවන්.

ඒ මොන අර්ථයෙන් වුණත් රටක ජනතාවගේ අයිතියට ජනතාවගේ ස්වාධීනත්වයට යම් බලපෑමක් වෙනවා නම් ඒක අධිරාජ්‍යවාදී මැදිහත්වීමත් තමයි.

ලෝකයේ බොහෝ රටවල් වලට ආර්ථික කොන්දේසි යොදමින් ඒ වගේම ආර්ථික කොන්දේසි වලින් තොරව ණය දීලා ඉතාම බරපතළ ලෙස චීන ණය උගුල්වල හිර කරපු රටවල් අපිට මෑතකාලීනව ඕන තරම් හොයා ගන්න පුළුවන්.

ඒ හින්දා අපි කවුරුත් දන්නවා මේ මොහොතේ චීනය ඉන්නෙ ලෝකයේ ප්‍රබලත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙන්, තමන්ගේ ඒ දේශපාලන වුවමනාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය තැනක. එහෙම නැතුව අපි කවුරුත් ඉස්සර කැමති වුණු ඉස්සර කතා කරපු චීනය නෙමෙයි දැන් තියෙන්නේ.

චීනය පැහැදිලිවම සමාජවාදී ගමනක්, සමාජවාදී ආර්ථිකයක් එක කටයුතු කරන රටක් නෙමෙයි. ඒක කොච්චර ව්‍යවහාරයේ තිබුණත්, පහුගිය කාලේ අපි දැක්කා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙක් ලංකාවට ආවා කියලා කියන එක.

අපි දන්නේ නැහැ ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයා මොකක් අරමුණු කරගෙන වැඩ කරන කෙනෙක්ද කියලා. අපිට කිසිම තැනක චීනෙන් එවැනි ප්‍රතිචාරයක්, ප්‍රකාශයක්, ඒ කියන්නේ සමාජවාදයක් එහෙම නැත්නම් කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ලෝක කොමියුනිස්ට් තත්වයක් වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන දැක්මක් සහිතව වැඩ කරනවා කියලා අපිට මෑතකාලීනව කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ.

ඒක නිසා හරි පැහැදිලියි මේක ඇමරිකාව වේවා චීනය වේවා එහෙම නැත්තං රුසියාව වේවා කිසියම් හෝ රටක ස්වාධිපත්‍යයට හානියක් කරනවා නම් ඒක පැහැදිලිවම අධිරාජ්‍යවාදී මැදිහත්වීමක්.

ඇත්තටම සමාජ ක්‍රියාකාරීන් හැටියට දේශපාලන ක්‍රියාකාරීන් හැටියට මේ ව්‍යාජ විරෝධය අපි දන්නවා. මහින්ද රාජපක්ෂ කඳවුර හැමදාම මේ ව්‍යාජ අධිරාජ්‍යවාදීන් කියන එක තමන්ගේ බල දේශපාලන වුවමනාව වෙනුවෙන් හරි ලස්සනට පාවිච්චි කෙරුවා.

මේකට ලංකාවෙ මාධ්‍යය වගේම භික්ෂූන් වහන්සේලා පැහැදිලිවම වගකිව යුතුයි. රාජපක්ෂ දේශපාලන කඳවුරත් එක්ක දේශපාලනික වශයෙන් ගනුදෙනු කරන, පැහැදිලිවම රාජපක්ෂ කඳවුර විසින් නඩත්තු කරන භික්ෂු කඳවුර පැහැදිලි වශයෙන් ම ව්‍යාජ දේශප්‍රේමීත්වය ලංකාව තුළ හදන්න එහෙම නැත්තං මේ දේශප්‍රේමීන් කියලා හදුනා ගන්න සළුපිළි අන්දන්න විශේෂ කාර්යභාරයක් කළා.

ඒ නිසා අපට, සමාජ ක්‍රියාකාරීන්ට, ඇත්ත මහජනතාවට ඇත්ත මිනිස්සුන්ට, ඇත්ත භික්ෂූන් වහන්සේලාට, විශාල කාර්යභාරයක් තියෙනවා මේ මොහොතේදී මෙන්න මේ ව්‍යාජ දේශප්‍රේමීත්වය වෙනුවට ඇත්ත දේශප්‍රේමීත්වය ගොඩනගන්න.

ඇත්ත දේශප්‍රේමී කඳවුරක්, පුළුල් එකතුවක්, බහුජන ක්‍රියාකාරීත්වයක්, මේ භූමිය මත හදන්න. ඒ එකතු වෙන පුළුල් බහුජන ව්‍යාපාරයක ශක්තිය මත පමණයි හෙට දවසේ ඇමෙරිකාව හෝ වේවා චීනය හෝ වෙන කිසියම් වූ රටකින් හෝ වේවා අපට වෙන ඒ දේශපාලන සහ ආර්ථික අභියෝගයට මුහුණ දීමට සිද්ධ වෙන්නේ.

ඒ නිසා අපි ඇත්ත සංවාදයක්, ඇත්ත සාකච්ඡාවක්, දේශප්‍රේමය සම්බන්ධයෙන් ආරම්භ කළ යුතුව පවතිනවා.

Social Sharing
නවතම සාකච්ඡා