“සන්ධාර” කියන්නෙ මොකක්ද?

සන්ධාර

අප හැමෝටම අපේ රට හා සමාජය තවදුරටත් උසස් වෙනවා දකින්නට අවශ්‍යයි. රටේ පාලනය තවත් විධිමත් වෙනවා දකින්නටත්, ජනතාව විනයගත වෙමින් නිර්මාණශීලී පුරවැසියන් බවට පත්වෙනවා දකින්නටත්, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය ශක්තිමත් වෙනවා දකින්නටත් අපට අවශ්‍යයි.

සමාජ සංවර්ධනයේදී පාලකයන් හා ජනතාව අතර සම්බන්ධතාව හා සංවාදය පවත්වාගෙන යමින්, ජනතාව අතර නව අදහස් ගොඩනැගීමේ හැකියාව ද, ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීමේ හෙවත් උද්දේශනය කිරීමේ හැකියාව ද, අවශ්‍ය නම්, අලුත් පාලන ක්‍රම නිර්මාණය කිරීම සඳහා මුලපිරීමේ හැකියාව ද සිවිල් සමාජයට තිබෙනවා.

සිවිල් සමාජය දේශපාලන හා සමාජ පරිවර්තනයන් සඳහා ඉවහල් වන පුරවැසි ක්‍රියාකාරීත්වයන්ට පහසුකාරකත්වය සපයන ස්වාධීන බලවේගයක්. රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ, රාජ්‍යය සමග ඍජුව සම්බන්ධ නොමැති, ස්වාධීන සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම, පරිසරය ආරක්ෂා කරගැනීම, සාධනීය සන්නිවේදනය වැනි කාරණාවලදී රාජ්‍ය නොවන සංවිධාන ඉතා වැදගත්, අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකරනවා.

වෘත්තික මට්ටමේ උද්දේශනය යනු භාරදූර කාර්යයක්. අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමටත්, ප්‍රතිපත්ති, නීති ආදිය වෙනස් කරවාගැනීම සඳහාත්, විවිධ අංශ දැනුවත් කරමින්, අවබෝධය ඇති කරමින්, අඛණ්ඩව හා දීර්ඝකාලීනව බලපෑම් කළ යුතුයි. එය වෘත්තිකමය කාර්යයක්. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති, සන්නිවේදන, සංවිධාන ආදී කාර්යයන් සම්බන්ධ වෘත්තිකයන් අවශ්‍යයි. ආයතන පරිපාලනය, කළමනාකරණය, අරමුදල් එක්රැස් කිරීම, ගිනුම් පවත්වා ගැනීම හා විගණනයන් සිදු කිරීම වැනි වෘත්තීය කාර්යයන් රැසක් රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන දීර්ඝ කාලයක සිට විදේශ අනුග්‍රාහකත්වයන් මත රඳා පවතින තත්වයක් නිර්මාණය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිපත්ති වෙනස් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ශ්‍රී ලාංකිකයන් කියන්නේ පරිත්‍යාගශීලීත්වයේදී බොහෝ ඉදිරියෙන් සිටින ජාතියක්. සිවිල් සමාජය මෙන්ම දේශීය රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂා කරගන්නටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පුළුවන්.

ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල ද පරිවර්තනයක් අවශ්‍යයි. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන ආර්ථික මෙන්ම සංස්කෘතික පරිසරයත් වෙනස් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ස්ථාවරයයි. තිරසරභාවය පිළිබඳ දීර්ඝ සංවාදයක් අප අතර සිදුවෙනවා. සංවාදය ක්‍රියාවක් බවට පත් කළ මොහොතක් තමයි සන්ධාර සමාජ ව්‍යවසායේ ආරම්භය.

සන්ධාර කියන්නේ, කොළඹ 5, තලකොටුව උද්‍යානයේ, හතරවන පටුමගේ පිහිටි අපේ මූලස්ථානය කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික ක්‍රියාවලියක්. එහි අරමුණ වන්නේ, එයින් උපයන ලාභය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් දිවයින පුරා පවත්වාගෙන යන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන හා මානව හිමිකම් ආරක්ෂක ජාලය පවත්වාගෙන යාම සඳහා නැවත යෙදවීමයි. අපේ මානව හිමිකම් ආරක්ෂක ජාලයත් අප වගේම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන් ආරම්භ කරමින් සිටිනවා. සන්ධාර සමග ඔබ කරන සෑම ගනුදෙනුවක්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට කරන දායකත්වයක්. ඒ වගේම, අප උත්සාහ කරන පරිවර්තනයටත් දිරි දීමක්.

මෙය අපට අලුත් ආරම්භයක්; අව්‍යාජ පර්යේෂණාත්මක උත්සාහයක්. එය සාර්ථක කරගන්නට අප ඇපකැප වෙනවා. අපට ඔබේ සහාය අවශ්‍යයි. අපි එකතු වෙලා මේ සංවාදයත්, ක්‍රියාවත් තව පුළුල් කරමු.

Social Sharing
අවකාශය නවතම