
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 දෙසැම්බරයේදී සිදු කළ යුද නීති ප්‍රකාශය සම්බන්ධයෙන් සෝල් නුවර අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, 65 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එරට හමුදාවේ සහ පොලීසියේ දේශපාලන මධ්‍යස්ථභාවයට බරපතල හානියක් සිදුව ඇති බව අධිකරණය නිගමනය කර තිබේ.
එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව අතර දකුණු කොරියාවේ දේශපාලන ස්ථාවරත්වය සහ විශ්වාසය සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ද අධිකරණය පෙන්වා දී ඇත.
මෙම නඩු තීන්දුව එරට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරීමටද පියවර ගෙන තිබිණි.
අදාළ නඩුවේදී හිටපු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වෙනත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටද සිර දඬුවම් නියම කර ඇත.
-
හිටපු ආරක්ෂක ඇමැති කිම් යොංට වසර 30ක සිර දඬුවම
-
හිටපු බුද්ධි අංශ අණදෙන නිලධාරී නෝ සැංග් වොංට වසර 18ක සිර දඬුවම
-
හිටපු පොලිස් ප්‍රධානියා වූ චෝ ජී හෝට වසර 12ක සිර දඬුවම
-
සෝල් අගනුවර හිටපු පොලිස් ප්‍රධානියා කිම් බොන්ග්ට වසර 10ක සිර දඬුවම
හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ යුද නීතිය පැය 6කට පසු එරට පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමකින් අවලංගු කර තිබූ අතර, එම සිද්ධියෙන් පසු දෝෂාභියෝගයක් මගින් ඔහු බලයෙන් නෙරපා දැමීමට ද කටයුතු කර තිබිණි.
මෙම නඩු තීන්දුව දකුණු කොරියා දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස විදෙස් විශ්ලේෂකයින් සලකන අතර, රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ප්‍රතිචාරයක් ලෙසද එය හඳුන්වා දී ඇත.
