
දර්ගා නගරයේ මීගම නාකන්දලවත්ත පදිංචි, විශ්රාමික නාවික හමුදා සෙබලෙකු වන මහේෂ් ගුණරත්න මහතා 2025.11.01 දින තම ඥාතින් හා කුඩා දරුවන් සමඟ බෙන්තර මුහුදු වෙරළට විනෝදය සඳහා ගොස් ඇත. ඒ කලින් දින ඔහුගේ වයස අවුරුදු 2 වන පුතාගේ උපන් දිනය පැවැත්වූ බැවින්, එම ඥාතින් හා දරුවන් සමඟ දිය නැමට හා සරුංගල් යැවීමත් සඳහාය.
මුහුදේ නාමින් සිටි අතරදී මහේෂ් මහතාගේ සහෝදරයා වන සිසිර ගුරත්න මහතා හා ඔහුගේ මස්සිනා වෙත බෙන්තර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණ, එහි තිබූ ත්රීවීල් රථයක් පරීක්ෂා කරන අතරතුර හිස් සිගරට් පැකට් එකක් හා බ්රවුන් පේපර් කොලයක් පෙන්වමින් “ඔබලා ගංජා ගහුවා නේද?” යනුවෙන් විමසා ඇත.
සිසිර මහතා “එය අපේ ත්රීවීල් රථය නොවේ” සහ “අපි ගංජා ගහලා නම් අපිව පරික්ෂා කරන්න පුළුවන් ” යනුවෙන් ප්රතිචාර දක්වා ඇත.
ඔහු දෙමාපියන් හා දරුවන් සමඟ සරුංගල් යැවීමට පැමිණ සිටි බව පැහැදිලි කර තිබුණද, පොලිස් නිලධාරීන් “නැහැ…උඔලා ගංජා ගහලා තමයි යමල්ලා පොලිසියට” යනුවෙන් කියා ඔවුන් පොලිසියට රැගෙන යාමට උත්සහ කර ඇත.
මෙය දැනගත් මහේෂ් මහතා ඇතුළු ඥාතින් මුහුදෙන් ගොඩට පැමිණ විමසා බැලූ විට, පොලිස් නිලධාරීන් විසින් බ්රවුන් පේපර් කොලයක් පෙන්නමින් “මේකෙන් ගංජා ගහලා” යනුවෙන් ප්රකාශ කළහ. එහිදී ප්රතිචාර දක්වමින් මහේෂ් මහතා “බ්රවුන් පේපර් කොලයෙන් කොහොමද ගංජා ගහලා කියන්නේ… මිනිහෙක් බිඩියක් ඔතලා බිලා විසි කරන්නත් පුළුවන්නේ… නැතත් මෙයලා ලඟ තිබිලා නෙමේනේ හොයා ගත්තේ” යනුවෙන් ප්රශ්න කර ඇත.
පොලිස් නිලධාරීන් සිසිර ගුරත්න මහතා සහ පැතුම් සමඟ පොලිසියට ගෙන යාමට උත්සහ කළ අතර, ඒ සඳහා මහේෂ් මහතා ඊට විරෝධය දක්වන අතරතුර නිලධාරියෙකු “කතා කරලා බේරගන්න” ලෙස ප්රකාශ කර, අල්ලස් ලෙස රු.5000/- ඉල්ලා තිබේ..
පසුව මහේෂ් මහතා “ඇයි අපි සල්ලි දෙන්නේ අපිව පොලිසියට අරගෙන ගිහින්, ගංජා බිලා ද කියලා පරික්ෂණයක් කර නඩු දාන්න.” යනුවෙන් මුදල් දීම ප්රතික්ෂේප කර ඇත.
ඉන් පසුව නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරිනි 10–15 ක් පමණ එම ස්ථානයට පැමිණි අතර, කිහිප දෙනෙකු අත අවි තිබු බව සනාථ විය.
එතැන සිටි උප පොලිස් පරික්ෂක “ලක්ෂාන්” නමැති නිලධාරියා “කවූද නීති කතා කරන්නේ….. උඹ කවුද?” කියා මහේෂ් ගෙන් විමසා ඇත. “මම මේ රටේ පුරවැසියෙක්” බව ඔහු ප්රකාශ කර ඇත. “ආ උඹට වරෙන් පුරවැසි භාවය පෙන්වන්න” කියා තර්ජනය කරමින්, මහේෂ්, සිසිර හා පැතුම් යන පිරිසට අතින් හා පයින් පහරදි තිබුණි.
පහරදීම සිදු වූ අවස්ථාවේ මහේෂ් මහතා තම කුඩා දරුවා අතට ගෙන සිටි අතර දරුවා බිය වී “ගහන්න එපා” යනුවෙන් හඬ නගා ඇත. වෙරළේ සිටි ජනතාව සියයකට ආසන්න පිරිසක් සහ විදේශිකයින්ද සිද්ධිය දැක සිටි බව සදහන් වේ.
පැතුමිගේ මව තම දරුවාට පහරදීම වැළැක්වීමට උත්සහ කළ අවස්ථාවේ, පොලිස් නිලධාරියෙකු සඳහන් මවට පරුෂ වචන භාවිතා කර තල්ලු කළ අතර, ඒ මඟින් ඇය සිටි ස්ථානයින් වැටී තුවාල ලබා ඇත.
සිද්ධිය දුරකථනවලින් වීඩියෝ කරගැනීමට උත්සහ කළ පුද්ගලයන්ගෙන් දුරකථන උදුරා ගෙන වීඩියෝ දත්ත මකා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
පසුව මෙම තිදෙනා පොලිසියට රැගෙනගොස්, එහිදීද අතින් හා පයින් පහර දෙමින් සිසිරගේ හිස බිත්තියට තදින් එල්ල කරන ලද බව සඳහන් වේ. උප පොලිස් පරීක්ෂක ලක්ෂාන් මහේෂ් මහතාට “උඹබව පාරේ මරා දමා දන්නා මට පුළුවන්.. මට ඕන තරම් මිනිස්සු ඉන්නවා ” යනුවෙන් මරණ තර්ජනය සිදු කළ අතර, තවත් පොලිස් සැරයන්වරයෙක් “අයිස් දාලා හයි කෝට් එකක් දමනවා” යනුවෙන් තර්ජනය කළ බවද සඳහන් වේ.
පැයකට පමණ පසුව පොලිස් නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කරගත්තද, අල්ලස් ඉල්ලීම, පහරදීම, මරණ තර්ජනය යනාදිය ලිවීමට ඉඩ නොදී අත්සන් කරනු සඳහා බලකළ බව ද ප්රකාශ කරයි.
මෙහිදී බිරිඳ සහ දරුවන් පොලිසියට පැමිණි විට ඔවුන්ටද පරුෂ වචන පවසා එලවාගෙන ඇත. කුඩා දරුවන් “තාත්තාව බලන්න” කියමින් අඬා තිබුණද, එය නොසලකා හැර තිබේ.
පසු දින උදේ අධිකරනයට ඉදිරිපත් කර තුන් දෙනාට ගංජා ග්රැමි 8.00 සන්තකයේ තිබුනු බවට බොරු නඩු 3 දමා ඇත. නීතිඥවරයෙකුගේ මැදිහත්වීමෙන් එම නඩුවට ඔවුන් නිවැරදි කරුයයි ප්රකාශ කර ඇත. පසුව තුන්දෙනාම ශරීර ඇප ලබා මුදා හැරුණත්, “රාජකාරියට බාධා” නඩුවක් යොදා 2025.11.04 දින බන්ධනාගාර ගත කර ඇත.
එම රාත්රියේ මහේෂ් මහතාගේ බිරිඳ වලිපැන්න පොලිසියට පැමිණ පැමිණිල්ලක් ලිවිමට උත්සාහ කළ අවස්ථාවේ, “පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් ලිවිය නොහැකි” යනුවෙන් ප්රතික්ෂේප කර ඇත.
2025.11.04 දින අධිකරණ ඇප මත නිදහස් කළ පසු, පොලිස් පහරදීමෙන් පැතුමි දැඩි අසනීප තත්වයට පත් වූ නිසා අළුත්ගම රෝහලට, ඉන්පසුව නාගොඩ රෝහලට මාරු කර ඇත.
පහරදීමේදී මහේෂ් මහතාගේ දරුවාගේ අතටද තුවාල වන ලක්ෂණ පෙනී තිබූ අතර, දරුවාවටද ප්රතිකාර ලබාදෙයි. පැතුමිගේ මව තල්ලු කිරීමෙන් කකුලට තුවාල වී ඇවිදීමට අපහසු වී ඇත.
මෙම සිද්ධිය නිසා සිසිරගේ වයස අවුරුදු 7 දියණියට තාත්තාට පහරදීම සහ බන්ධනාගාරගත කිරීම දැකීමෙන් සිතිවිලි ආතතියක් ඇතිව රාත්රි බියද පවතින බව සඳහන් වේ.
මෙම නීතිවිරෝධී ක්රියාවලට එරෙහිව මහේෂ් මහතා පොලිස් අධිකාරි ඇල්පිටිය, පොලිස්පති, පොලිස් කොමිසන් සභාව සහ මානව හිමිකම් කොමිසන් සභාව වෙත අදාළ පැමිණිලි කලේය.
