සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය ජයරුවන්ව විහිලුවකට අරන්ද?

කොරෝනා දෙවැනි රැල්ලත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිම කථාබහට ලක් වූ චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටි ඔහුට පළමු වෙඩිල්ල පත්තු වූයේ ඔක්තෝම්බර් 06 දාය.

ඒ ඔහුව එම අධ්‍යක්ෂකධුරයෙන් බවත් කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කරමිනි.

එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ තමන් වැඩියෙන් වැඩ කළ නිසා මෙම දඩුවම හිමි වූ බවත් නැවත තනතුරු භාර නොගන්නා බවත්ය. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමියන් පමණය. උන්වහන්සේ පැවසුයේ ආණ්ඩුව කළ වැඩේ කැත බවය.

මාධ්‍ය තුලද වෛද්‍ය ජයරුවන් අධ්‍යක්ෂක ධූරයෙන් පහ කිරීම පිලිබඳ දිගින් දිගටම කථා කළහ. අවසානයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරක් හිමි වුවේය. ඒ ඔහුට තනතුර අහිමිව දින හයකට පසුවය. එනම් ඔක්තෝම්බර් 12 දාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් කලක් නොතිබුණු තනතුරක් ඔහු වෙනුවෙන් බිහි විය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ප්‍රථම මාධ්‍ය හමුව පවත්වමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරියත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේත් ඉල්ලීම මත තමන් සතුටින් මෙම නව තනතුර භාර ගත් බවය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දක්ෂ කථිකයෙක් වූ බැවින්  ඔහුට මනාව යමක් තේරුම් කිරීමේ හැකියාව තිබුණි.  ඒ නිසා ඔහුට එම නව තනතුර මනාව ගැලපුනේය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහුට ඇවැසි සහයා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්, ඇතැම් වෛද්‍යවරුන් කැමති වුයේ නැත.

ඒ නිසාදෝ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කිරීමෙන් දින දෙකකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට දැනුම් දී ඇත්තේ කොවිඩ් 19 පාලනයට අදාලව දිනපතා පැවත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡා මින් ඉදිරියට එම ස්ථානයේ නොපවත්තන ලෙසය.

ඊට අදාල මාධ්‍ය හමු කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇති බවත්, ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් (14) දින සිට කොවිඩ් 19 පාලනයට අදාල ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගියේය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමු පවත්වන ලෙස දැනුම් දුන්නේය. ඒ යම් සීමාවකට යටත්වය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙනුවට ස්ථිර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් පත් වී පැමිණියහ. ඒ කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය ජයරුවන් වෙත පවසා ඇත්තේ දැන් ඩී ජේ කෙනෙකු සිටින නිසා ඔහුට මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වන ලෙසටය. ඒ අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඊයේ (14) වහාම මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරව විහිලුවට ගෙන ඇත්දැයි මෙහිදී සැක මතු වේ. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන්නේ වෛද්‍ය ජයරුවන් නොව දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයම  මුලු රටේම විහිලුවක් වී ඇති බවය.

-ශානිකා-

Social Sharing
නවතම