
මේ වන විට අධ්‍යාපන බලධාරීන්ගේ ප්‍රධානම කතාබහ වෙලා තියෙන්නේ පාසල් කාලය සවස 2.00 දක්වා පැවැත්වීම සහ කාල පරිච්ඡේදයක් මිනිත්තු 50 දක්වා වැඩි කිරීම සාධාරණීකරණය කරන්න. මේ කතාබහට පක්ෂව විවිධ දේශීය විදේශීය මිත්‍රයින් ද සමාජ ජාලවල වෙනත් වෘත්තිකයින්ද අදහස් දක්වනවා ඇයි, මේ මිනිත්තු 30 ක් පාසලක් පවත්වන එකට මෙතරම් විරෝධයක් දක්වන්නේ කියලා. මේ විදිහට පාසල් කාලය වැඩි කිරීමේ ක්‍රියාපටිපාටියෙන් දරුවන්ට හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවන නව ප්‍රතිසංස්කරණයක්වත්, නව දැනුමක්වත්, විපර්යාසයක්වත් වෙන්නේ නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව පාදක කරගෙන සකස් කරන ඒවා. 2025 වසරේත් ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙන්නේ ෆින්ලන්තයේ.
2025 වසරේ පාසල් ශිෂ්‍යයන්ගේ දැනුම හා නිර්මාණශීලීත්වය දෙකම සවිමත් කරන ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධතියක් ඇති රට ලෙස ෆින්ලන්තය විශිෂ්ඨයි. ෆින්ලන්ත අධ්‍යාපන පද්ධතියේ විශේෂත්වය කරණා හතරක් නිසා වැදගත් වෙනවා.

- නිර්මාණශීලීත්වය උදෙසා නිදහස් පරිසරයක් නිසා සිසුන්ට විචාරශීලීව සිතන්න, ගැටළු විසඳන්න, සහ නව අදහස් නිර්මාණය කරන්න උනන්දු කරන පාඩම් ක්‍රමවේද මෙහි තියෙනවා වගේම විභාග මත පදනම් වූ පීඩනය අඩුයි.
- ගුරුවරුන්ගේ උසස් පුහුණුව සහ නිදහස තිබෙනවා වගේම ගුරුවරුන්ට ඉගැන්වීම සඳහා ශාස්ත්‍රපති (Master) උපාධියක් අත්‍යවශ්‍ය වන අතර, ඔවුන්ට තම දරු ප්‍රජාවට අනුව පාඩම් සැලසුම් කිරීමට විශාල නිදහසක් තිබෙනවා.
- අන්තර් විෂය (interdisciplinary learning) සහ සත්‍ය ජීවිතය සමඟ සම්බන්ධතාවය මත පාඩම් සැලසුම් කිරීම සිදු කරන නිසා මෙය සිසුන්ගේ දැනුම සහ නිර්මාණශීලීත්වය එකට ගැඹුරු කරයි.
- අධ්‍යාපන සමානාත්මතාවය තුළ සියලුම සිසුන්ට සමාන අවස්ථා ලබා දීමේ ප්‍රමුඛතාවය මගින් සමාජමය සහ සංවේදී කුසලතාද වර්ධනය කරයි.
හැබැයි මේ දේවල් ඔක්කොම කරන්නේ පැය හයක් හතක් අටක් වගේ කාලයක් සිසුන්ව හෙම්බත් කරලා නෙමෙයි. එදා සිට 2025 දක්වාම ෆින්ලන්තයේ සාමාන්‍ය පාසල් දිනය පැවැත්වෙන්නේ මධ්‍යස්ථව පැය 5යි. එය ලෝකයේ සාමාන්‍ය පාසල් වේලාවට වඩා අඩුයි. පළමු ශ්‍රේණිවලදී. – 3.5 – 4.5 පැය පමණ කුඩා දරුවන්ගේ අවධානය සහ ශක්තිය සලකා පැවැත්වෙනවා. උසස් ශ්‍රේණිවලදී – 5 – 6 පැය දක්වා තිබෙනවා විෂය බහුලතාවය සහ ව්‍යාපෘති වැඩ සඳහා.
මේ තමයි ෆින්ලන්තයේ පාසල් දිනක මිනිත්තු 40 ක කාල පරිච්ඡේද.
- | 08:30 – 09:10 | ගණිතය
- | 09:10 – 09:50 | භාෂා (Suomi / English)
- | 09:50 – 10:10 | විවේකය (Outdoor play/snack)
- | 10:10 – 10:50 | විද්‍යාව / පරිසරය
- | 10:50 – 11:30 | කලා / සංගීතය
- | 11:30 – 12:10 | සමාජ විද්‍යාව / Ethics
- | 12:10 – 12:50 | මධ්‍යහන ආහාරය සහ විවේකය
- | 12:50 – 13:30 | ක්‍රීඩා / ශාරීරික අධ්‍යාපනය
- | 13:30 – 14:10 | ව්‍යාපෘති වැඩ / නිර්මාණශීලී කණ්ඩායම් වැඩ
- | 14:10 – 14:30 | දිනයේ සාරාංශය සහ නිමාව

අද ඉන්දියාවේ පාසල් අධ්‍යාපනය තියෙන්නේ යුනෙස්කෝ එඩියුකේෂන් index එකට අනුව 112 මට්ටමේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ 89 මට්ටමේ. ඉන්දියාව අපිට වඩා 23 ක් පහලින් ඉන්නේ. ඒ වෙනුවට අපේ ඇමතිලා ඉන්දියාවේ රාත්‍රි 8.00 දක්වා පවත්වන උදාහරණ තමයි ගන්නෙ. අපි ආණ්ඩුවට බල කරන්නේ මේ රටේ අධ්‍යාපනය හදනවානම් ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන 2025 වසරේ පාසල් ශිෂ්‍යයන්ගේ දැනුම හා නිර්මාණශීලීත්වය දෙකම සවිමත් කරන ෆින්ලන්තය වගේ රටක් ආදර්ශයට ගන්න කියලා.
ෆින්ලන්ත අධ්‍යාපන පද්ධතියේ නැහැ සිසුන්ට දරාගන්න බැරි විශාල කාලවල උගන්වන ක්‍රමවේද. ලංකාවෙ ටියුෂන්වල තියෙනවා වගේ පැය තුන හතර පහ උගන්වන වැඩ. අනුමාන ප්‍රශ්න අනුමාන උත්තර දීලා විභාග පාස් කරන වැඩ. ගුරුවරු මරවලා, ළමයි හෙම්බත් කරවලා ක්‍රියාකරවන ව්‍යාපෘති. ෆින්ලන්තයේ පාසල් කාලපරිච්ඡේද හදල තියෙන්නේ ළමා අධ්‍යාපනය මනෝ විද්‍යාවට අනුව. වැඩි කාලයක් වැය කරාම ළමයින්ගේ ඔලුවට යන්නෑ. මේකට කියන්නේ කොග්නිටිව් ලෝඩ් කියලා (cognitive load). නැතිනම් ඉගෙනීමේදී මනසට ඇති බර කියලා. ඒ රටවල අධ්‍යාපන ක්‍රමවේද හදලා තියෙන්නේ දරුවන් මනුෂ්‍යයන් ගැන හිතලා අධ්‍යාපන සංකල්පය මූලික කරගෙන.
ලෝකයේ ඉන්න සෑම අධ්‍යාපන මනෝ විද්‍යාඥයෙක්ම කියන්නේ ඉගෙනුමක් දරාගන්න පුළුවන් උපරිම කාලය මිනිත්තු 30 සිට 40යි කියලා. උදාහරණ ලෙස ඩොනල්ඩ් බ්‍රෝඩ්බෙන්ට් 1958 ලියපු ( Donald Broadbent – Filter Model of Attention -1958) පොත අරන් බලන්න කියලා. ඩැනියෙල් කානේමන් 1973 ලියපු(Daniel Kahneman ) Attention and Effort කියන පොත මේ බලධරයන්ට කියවලා බලන්න කියලා අපි කියනවා. ජෝන් ස්වෙලර් 1988 ලියපු (John Sweller – Cognitive Load Theory) පොත් පෙරලලා බලන්න කියලා අපි කියනවා. මේ හැම අධ්‍යාපනයෙක්ම කියලා තියෙන්නේ මිනිත්තු 40ක් කියන කාල පරිච්ඡේදය පාසල් ඉගෙනුම් සැසි සඳහා හොඳම ක්‍රමවේදය කියලා.
2025 වසරේ ලෝකයේ වැඩිම වේලාවක් පාසල් පැවැත්වෙන රට ලෙස තායිලන්තයේ අධ්‍යාපනය අසාර්ථකයි. සාමාන්‍ය පාසල් දිනයක් පැය 9.5ක් පමණ වෙන අතර විෂයයන් බහුලව, විභාග මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් පවතින්නේ. අන්තර්ජාලය පරීක්ෂා කරලා මේවා ගැන හොයා බලන්න. මෙන්න මේ වගේ අසාර්ථක ක්‍රමවේදයකට තමයි අද ලංකාවෙ අධ්‍යාපන අමාත්‍යාංශ ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ කොන්දේසි වලට යටත් වෙලා පත් කරන්න හදන්නේ.
පහල තියෙනවා වැඩිම පාසල් වේලාවක් ඇති රටවල් ලැයිස්තුවක්.
- | 1 | 🇹🇭 තායිලන්තය | 9.5 පැය
- | 2 | 🇰🇭 කම්බෝජය | 8.75 පැය
- | 3 | 🇧🇩 බංග්ලාදේශය | 8.5 පැය
- | 4 | 🇲🇲 මියන්මාරය | 8.5 පැය
- | 5 | 🇹🇼 තායිවානය | 8.5 පැය
- | 6 | 🇨🇱 චිලී | 8.33 පැය
- | 7 | 🇬🇭 ගානා | 8.0 පැය
- | 8 | 🇳🇵 නේපාලය | 7.75 පැය
- | 09 | 🇰🇪 කෙන්යාව | 7.5 පැය
අධ්‍යාපනය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදවලට පයින් ගහලා ටියුෂන් මාෆියාවේ ඉන්න බිස්නස් කාරයින්ගෙන් උපදෙස් අරගෙන, නැත්නම් ලංකාවේ බැරි නිසා ඉන්දියාවට ගිහිල්ලා උපාධි සහතික ගත්ත ඊනියා උපදේශකවරුන්ගේ ගුණ්ඩු කාල තමයි මේ ප්‍රතිසංස්කරණ අරන් එන්නේ. මේ අරන් එන ප්‍රතිසංස්කරණවලට කිසිම විද්‍යාත්මක පදනමකුත් නෑ, න්‍යායාත්මක පදනමකුත් නෑ. කිසිම පලදායිතාවකුත් නෑ. එහෙම දෙයක් අනාගතයෙන් එන්නෙත් නෑ.
program කරපු software හදනවා වගේ විභාග පාස් කරලා දැන් තියන මට්ටමටත් පහළ මට්ටමකට ඇද දාන තාක්ෂණික ප්‍රජාවක් බිහිකරන්න තමයි මේ හදන්නේ. දැනුමක් කුසලතාවක්,රසයක්, පරිකල්පනයක් නැති ප්‍රජාවක් හදන්න තමයි මේ හදන්නේ.මෙවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘති. ප්‍රගතිශීලි විදිහට ජනතාවගේ ඡන්දය අරගෙන බලයට පත්වෙච්ච ආණ්ඩු දූෂිත ආණ්ඩුවලටත් වඩා අධ්‍යාපනය විනාශ කිරීමට තමයි මේ සැරසෙන්නේ.
අධ්‍යාපනයෙන් අපේ රට නගාහිටුවීම වෙනුවට පරාජය කරන්න තමයි මේ ප්‍රොජෙට් අරන් එන්නේ? එනිසා අපි කියා සිටිනවා අධ්‍යාපනය ගැන දැනුම තියෙන විශේෂඥවරුන්ගෙන් උපදෙස් අරගන්න. කලින් ආණ්ඩු ක්‍රියාත්මක කරන්න කියලා නවත්තල තිබ්බ ව්‍යාපෘති අමු අමුවේ වෙනත් නම් වලින්, වෙනත් වට්ටෝරුවලින් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ ඉන්න දරුවන් කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න. ගුරුවරයා කවුද කියන්නේ අවබෝධ කරගන්න. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න ගැටලුවලට සැබෑ විසඳුම් දෙන්න. පැලැස්තර අලවලා සැබෑ ප්‍රශ්න යට ගහන්න එපා කියලා අපි අභියෝග කරනවා.
