
-ගයාන් සුරිය ආරච්චි-
මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැඳී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැනු දරුවෝ 27 දෙනෙක් සිටිති. මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඉකුත් 27 වැනිදා දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1,483 ක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන් වූ සිරකාරියෝය. ජනවාරි 1 වැනිදා සිට ජුලි 31 වැනිදා දක්වා ගත වූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ 184 දෙනෙකි. ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 ක්. හෙරොයින් සම්බන්ධයෙන් 97 ක්, ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙක්, අබිං සම්බන්ධයෙන් එක් කාන්තාවක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිදෙනෙක් බන්ධනාගාරවල සිටිති.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් යටතේ බන්ධනාගාර මූලස්ථානයෙන් කළ ඉල්ලීමකින් පසුව මෙම තොරතුරු අනාවරණය විය.
පසුගිය වසරේ ( 2024) විවිධ වැරැදි සම්බන්ධයෙන් සිරගත කර සිටි කාන්තාවන් සංඛ්‍යාව 885 ක් වන අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් කාන්තාවෝ 369 ක් බන්ධනාගාර ගතකරනු ලැබ සිටිති.
ඔවුන් අතරින් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 138 ක් හෙරොයින් සම්බන්ධයෙන් 199 ගංජා සම්බන්ධයෙන් 17 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙක් ද වෙති.
ඉකුත් වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවන් 655 ක් බන්ධනාගාර ගත කර ඇති අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවෝ 278 ක් සිරගත කරනු ලැබ සිටියහ.
ඊට අමතරව අවිවාහක කාන්තාවන් 98 දෙනෙකු ඉකුත් වසරේ බන්ධනාගාර ගතකර සිටි අතර ඉන් 65 දෙනෙක් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබුවෝ වූහ. කෙසේ වෙතත් ඉකුත් වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක් සිරකරුවකු සඳහා රජය දිනකට ආසන්න වශයෙන් රුපියල් 1,411 ක් වියදම් දරන අතර එක් සිරකරුවකු වෙනුවෙන් වසරකට ආසන්න වශයෙන් රුපියල් 516,352 ක මුදලක් වැය කරන බව ද අනාවරණය වී ඇත.
එක් සිරකරුවකුගේ දිනක ආහාර වේල වෙනුවෙන් රුපියල් 697 ක මුදලක් ද, වසරක් සඳහා රුපියල් 255,174 ක මුදලක් ද ඉකුත් වසරේ රජය වැය කර ඇති බව ද සඳහන් වේ.
