ජනාධිපති ඇවිත් අවුරුද්දක් නෑ, සහල් වලට ගහපු පස්වැනි ගැසට් එක

සහල් මිල පාලනය ට යැයි කියා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් කෘතීමව සහල් හිඟයක් මවා මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හා නිලධාරීන් කිහිපදෙනෙකු කොමිස් මුදල් මත සහල් ආනයනය කිරීමට සැරසේන්නේ යැයි සීමා සහිත ශ්‍රී ලංකා සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා අද (05) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව පැවසීය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හා නිලධාරින් කිහිප දෙනෙකු මෙම කුමන්ත්‍රණය සිදු කර ඇති බවයි.

එහි දී සභාපතිවරයා මෙසේ ද කීය.

“අපි පහුගිය දවසකත් ඉල්ලා හිටියේ මේ සහල් මිල ඉහළ යාම විසඳන්න මැදිහත් වෙන්න කියලා. රුපියල් 60 ට ගත්ත වී තොගවලින් රුපියල් 105 ක වාගෙ මිලකට තමයි තොග සපයන්න හැකියාව තියෙන්නේ. රජය සන්තකව යම් වී තොගයක් තියෙනවා. රජයේ වී අළෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරු ළග ගබඩාවල මෙට්‍රික් ටොන් 30000ක් පමණ තියෙනවා. මේ වී තොග සහල් කරන්න ක්‍රමයක් හදන්නේ නැතුව අපොහොසත් වෙලා සහල් මිල පාළනය කරන්න ආණ්ඩුව දරන්නේ නිරර්ථක උත්සාහයක්. කාගෙවත් ලණු ගිලින්නේ නැතුව රටේ ඇත්ත වී මිල සහ ඊට සාපේක්ෂව සහල් මිල තියන්න. මේ ගැසට් එකෙන් දක්වලා තියෙන්නේ නිකන් විහිලු මිලක්. නව ජනාධිපතිතුමා බලයට පත් වෙලා මාස එකොලහ හමාරක කාලය තුළ දී සහල් මිල සම්බන්ධයෙන් ගැසට් 05ක් ප්‍රකාශයට පත් කළා. වසරක් ගත වෙන්නත් කලින් සහල් වෙනුවෙන් ගැසට් 05ක් නිකුත් කරන තත්ත්වයට පත් වෙලා. පහුගිය යහපාලන ආණ්ඩු කාලේ අවුරුදු පහටම ඕන නම් ගැසට් නිවේදන දෙකක් හෝ තුනක් නිකුත් කරන්න ඇති. ඊයේ නිකුත් කළ් ගැසට් එකට අනුව රුපියල් 92යි නාඩු, සම්බා 94යි  මේ මිලට තමයි සහල් මෝල් හිමියෝ වෙලෙන්ඳන්ට ලබා දෙන්න ඕන මිල. රටේ බහුතර සියයට 70ක් විතර පරිභෝජනය කරන නාඩු වී කිලෝවක මිල රුපියල් 60ක් වෙනවා. මේ මිලට වී අරගෙන රුපියල් 92 ට සහල් තොග දෙන්න මහා පරිමාණ හෝ මධ්‍යපරිමාණ හෝ සුළු පරිමාණ හෝ කිසිම කෙනෙකුට හැකියාවක් නෑ. එහෙම දෙන්න හැකියාවක් තියෙනවා නම් අපි අමාත්‍යවරයාගෙන් අහනවා ඒ අත්භූත වී ප්‍රභේදය මොකද්ද ඒ අත්භූත යන්ත්‍රය මොකද්ද කියලා. අපි දන්නා කියන වී ප්‍රභේදවලින් හෝ යන්ත්‍රසූත්‍ර වලින් මේ මිලට සහල් දෙන්න විදිහක් නෑ. ආණ්ඩුවේ ඉන්නවා වත්මන් ජනාධිපතිතුමා බාල්දු කරන්න හෑල්ලු කරන්න කටයුතු කරන ජනාධිපතිතුමා වටේ ඉන්න කොටලුවෝ කණ්ඩායමක්. මේ ගැසට්  නිවේදනයත් එක්ක අපට සහල් නිෂ්පාදනය කරන්න හැකියාවක් නෑ. අපට සිද්ධ වෙන්නේ මේ කර්මාන්තය නවත්තලා දාන්න. ඒකට තමා මේ මැති ඇමතිවරු කිහිප දෙනෙකුත් නිලධාරින් කිහිප දෙනෙකුත් කටයුතු කරන්නේ. අපට විතරක් නෙමෙයි මහා පරිමාණ මෝල් හිමියනුත් නැති කරන්න හදන්නේ. මේ ප්‍රායෝගික නොවන ගැසට් නිවේදන නිකුත් කරලා කෘතිම සහල් හිඟයක් මවා පාලා දේශීය මහා පරිමාණ සහල් නිෂ්පාදකයිනුත් සුලු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයිනුත් අපහසුතාවට පත් කරලා සහල් හිඟයක් කෘතිමව නිර්මාණය කරලා සහල් ආනයනය කරලා කොමිස් කන්දක් ලබා ගැනීමට තමයි මේ සූදානම් වෙන්නේ.     2008 දී මේ වගේම වැඩක් කළා.”යැයි ද ඒ මහතා පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

 

Social Sharing
නවතම