දින 29 ට කොරෝනා රෝගීන් 5823 යි, PCR යන්ත්‍රත් අක්‍රීයයි!

කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සැලකිය යුතු සංඛ්‍යාවකින් ඉහල යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරැ අඟවයි.

අද (29) වන විට කොරෝනා රෝගීන් 9205ක් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 19ක් ලෙස සදහන් වේ. මෙම රෝගීන්ගෙන් දැනටමත් 5111 දෙනෙකු අපගේ රෝහල් පද්ධතිය තුළ ප්‍රථිකාර ලබා ගනිමින් සිටී. මෙම සංඛ්‍යාව ඉතා විශාල අගයක් වන අතර, දැනට කෝවිඩ් රෝගීන් සදහා වෙන්කර ඇති රෝහල් 23න් 90%ක් මේ කොරෝනා රෝගීන් නිසා පිරී ගොස් ඇති බවත් වාර්තා වේ.

ඔක්තෝබර් මාසය තුළ කොරෝනා රෝගීන් සැලකිය යුතු මට්මකින් ඉහල ගොස් ඇති අතර, එම ප්‍රමාණය දැනට ලංකාව තුළ වාර්තා වී ඇති ප්‍රමාණයේ හරි අඩකට වැඩි අගයක් ගනී. සැප්. 30 වන විට ලංකාවේ කොරෝනා රෝගීන් වාර්තා වී තිබුනේ 3382කි. නමුත් පසුගිය දින 29 තුළ පමණක් කොරෝනා රෝගීන් 5823ක් වාර්තා වී ඇති තිබේ. ආසාදිත මරණ සංඛ්‍යාව 6ක් ලෙස වාර්තා වේ.

මෙවැනි වසංගත ත්ත්වයක දී දැඩි අවධානයකින් ආරක්ෂා කළ යුතු ප්‍රජාවන් ලෙස සැලකෙන කම්කරු ප්‍රජාව, විශේෂයෙන් නිදහස් වෙලද කලාප ආශ්‍රිත සේවක සේවිකාවන්, ධීවර, නාගරික වතු හා මහල් නිවාස සහ වතු ආශ්‍රිත ප්‍රජාවන් වැනි ඉතා කුඩා ඉඩකඩක වාසය කරනු ලබන ජන කණ්ඩායම් බව අවිවාදිතය. දැනටමත් නිදහස් වෙළද කළාප, වරාය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් තුළ මෙම වෛරසය පැතිරී ඇති අතර, ධීවර ප්‍රජාව හා කොළඹ නාගරික වතු නිවාස වෙතද මෙම වෛරසය සංක්‍රමණය වී තිබේ.

මෙහි ඊලග ඉලක්කය විය හැක්කේ වතු ප්‍රජාවයි. ඔවුන් මෙම රෝගයෙන් ආරක්ෂා කිරීම සියලුම දෙනාගේ වගකීමක් වන අතර, ඒ සදහා සුවිශේෂ වැඩපිළිවෙලක් රජය විසින් සැකසිය යුතුය. නමුත් වතු අධිකාරීවරුන් පිරිසක් පවසන්නේ වතුකරයේ සෑහෙන පිරිසක් බස්නාහිර පලාත ආශ්‍රිතව විවිධ ක්ෂේත්‍රයන් හී රැකියාවන් වල නියැලෙන බවත්, බස්නාහිර පළාත ලොක් ඩවුන් වීම නිසා ඔවුන් මේ වන විට විශාල වශයෙන් වතු ප්‍රදේශයන්ට සංක්‍රමණය වීමට පටන්ගෙන ඇති බවත්ය. නමුත් මේ අය කිසිදු පරීක්ෂාවකට ලක් නොවන බවත්ය.

රෝගීන් වැඩිවීමේ ප්‍රථිශතය අනුව අපට PCR පරීක්ෂා කිරීමේ හැකියාව වැඩි වී නොමැති අතර, තිබූ PCR යන්ත්‍ර කිහිපයක් කැඩි ඇති නිසා ඒවා අලුත්වැඩියාවට යොමු කර ඇති නිසා පැවති පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් තිබෙන බවත්, දැනට කරනු ලබන පරීක්ෂණයන් හී වාර්තා ලැබීමට මේ වන විට සතියකට වඩා වැඩි කාලයක් ගන්නා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම