පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක් රටේ සියලුම කටයුතු අඩපණ වුයේ පහුගිය මාර්තු මාසයේ සිටය. මෙහිදී පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති අතර එය වළකාලමින් කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේම  හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු දෙපාර්තමේන්තුව සහ කම්කරු අමාත්‍යංශය නියෝජනය කරමින් කාර්ය සාධක බලකායක් පිහිටුවාගෙන ත්‍රෛපාක්ෂික ගිවිසුමක් අත්සන් කළහ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනයන්හී සේවකයන්ගේ රැකියා අහිමි නොකකර තබා ගැනීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට සිදුවීම හේතුවෙන් සියලුම සේවකයින් ආයතනයට කැඳවිය නොහැකි ආයතන වල සේවා මුර ක්‍රමයට හෝ වෙනත් සුදුසු ක්‍රමයක් යටතේ සේවකයින් සේවයේ යෙදවීම, වැඩ නොමැතිකම නිසා සේවකයින් නිවෙස් තුල රැඳවීමේ අවශ්‍යතාවයක් පැවති ආයතන වල සේවකයින්ට ඔවුන් අවසාන වශයෙන් ලද සම්පුර්ණ වැටුප ගෙවන ලද මාසයට අදාලව මුලික වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක යන දෙකෙන් වාසිදායක මුදල ගෙවීම, එලෙස ගෙවන වැටුප් සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට මුදල් බැර කිරීම  යන කරුණු වලින් එම ගිවිසුම සමන්විත විය.

එකී  ගිවිසුම තුළින් කර්මාන්ත ශාලා වැසී ගිය කාලය තුළ හාම්පුතුන් විසින් නිවෙස්වල සිටි සේවකයන්ට අඩ වැටුප් ගෙවන ලද, අතර පසුව සේවකයන්ට සිය රැකියා ලබාදීම සිදු කරන ලදි. මේ නිසා සේවකයන්ගේ රැකියා අහිමිවීම වැලැක්විණි. මෙම ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 දින අවසන් විය.

එහෙත් වත්මන් කොවිඩ් පැතිරයාමේ තත්ත්වය තුළ එම ගිවිසුම නැවත සමාලෝචනය  කිරිමේ අවශ්‍යතාව  පිලිබඳව  පහුගියදා කම්කරු අමාත්‍යාංශයේදි රැස්වූ අවස්ථාවේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා හා සේව්‍ය යෝජකයින් හා සේවක වෘත්තිය සමිති, ජාතික කම්කරු උපදේශක සභාවේ නිලධාරින් අතර සාකච්ඡාවක් කර තිබේ.

ඒ මේ වන විටත් මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ රැසක පෞද්ගලික අංශ වල සේවකයින්ට නිරෝධායන ඇඳිරි නීතිය නිසා සේවයට යාමට නොහැකි වීමේ පසුබිම කේන්ද්‍ර කර ගනිමිනි.

ඒ අනුව  තවදුරටත් රටතුල ව්‍යාප්ත වෙන වසංගත තත්වය සලකා බලා එම ගිවිසුම දෙසැම්බර් මාසය දක්වාම පවත්වාගෙන යාමට කාර්ය සාධක බලකාය එකඟ වී ඇති බව කම්කරු අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා ඇති අතර ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

නමුත් මෙම පෞද්ගලික අංශයට ප්‍රාදේශිය මාධ්‍යවේදීන්, පෞද්ගලික මගී බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, මෑන් පවර් සේවකයින් ආදිය කේන්ද්‍ර වන්නේ නැත. කොවිඩ් 19 නිසා ඔවුන්ද මේ අවස්ථාවේ පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයටය. ඒ නිසා එවැනි පුද්ගලයින් පිලිබඳවද අවධානය යොමු කර කුමන හෝ සහනයක් ලබා දිය යුතුව ඇත්තේය.

-ශානිකා-

Social Sharing
නවතම