කොරෝනා නිසා ආහාර නොමැතිව මෑන්පවර් කම්කරුවන් කුසගින්නේ.

දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ අනිවාර්ය ස්වයං නිරෝධායනය සදහා යොමු කර තිබෙන ඇඟලුම් කම්හල් සහ  මෑන්පවර් සේවකයන්ට බලධාරීන්ගේ පිලිසරණක් නොමැති වීමෙන්  එම සේවකයන්  දිවි රැක ගැනීම සඳහා නිරතව සිටින දුෂ්කර අරගලය පිළිබඳ කනගාටුදායක තොරතුරු අනාවරණය වී  තිබේ.

නිදහස් වෙළෙඳ වෙළඳ කලාපයේ සේවකයන්ගේ  සහ මෑන්පවර් සේවකයන්ගේ අයිතීන්  වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති කිහිපයක් ආයෝජන මණ්ඩලය වෙත ඔක්තෝබර් 26 සදුදා වීඩියෝ සාක්ෂිද සහිතව  යොමු කර තිබෙන  “හදිසි අභියාචනයක්”  මගින් පෙන්වා දී ඇත්තේ එම සේවකයන්ට  අවශ්‍ය දෛනික ආහාර පවා ලබා නොදී ගාල් කිරීමෙන් ඔවුන් දැඩි මානසික ආතතියකින් පෙළෙන ආකාරයයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ  කොරෝනා දෙවැනි වසංගත රැල්ල මේ වන විට  කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන වෘත්තිය සමිති වැඩි දුරටත් අවධාරණය කරන්නේ  හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ නවාතැන් පල තුළ ස්වයං නිරෝධායනය වන ලෙස බලකර තිබූ බවයි.

කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුන් මේ වන විට  දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටින බව එම වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන පෙන්වා දෙයි.

එම වෘත්තිය සමිති ආයෝජන මණ්ඩලය වෙත යොමු කළ අභියාචනයේ දක්වා ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇවරිවත්ත, ජයවර්ධනපුර හා අමන්දොලුව ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වලාන සහ කෝවින්න ප්‍රදේශ වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශ වන බවයි.

තවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා කිහිපයකින් COVID-19 ආසාදිත සේවකයන් සොයා ගැනීමෙන් පසුව, එම කර්මාන්තශාලා වල සේවකයන්ට රැකියාවට යෑම තහනම් කරන ලද අතර, ඔවුන්ගේ නේවාසිකාගාරවලින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ට ගමන් තහනමක් ද පනවන ලදි. මෙම සේවකයන් වෙනුවෙන් වගකීම භාර ගැනීමට සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කටයුතු කිරීමට කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නැත. රැකියාවට වාර්තා කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව ඔවුන්ගේ සේවායෝජකයන් විසින් ඔවුන්ගේ වරදක් ලෙස සැලකීම සිදුවේ. වෛරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇති ඇතැම් කර්මාන්තශාලා මගින් තම සේවකයන් සඳහා යම් සහන සලාක පමණක් ලබා දී ඇති අතර අනෙක් සේවකයන් තමන්ටම තමන්ව බලා ගැනීම හෝ කුසගින්නේ සිටීම පමණක් ඉතිරි කොට අත්හැර දමා තිබේ.

දැන්, ආසාදිත බව තහවුරු වූ අය පමණක් ප්‍රතිකාර සඳහා ගෙන යනු ලබන අතර, අවට සිටින අයගෙන් ස්වයං නිරෝධායනයවන ලෙස ඉල්ලා සිටී. රජයේ නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායනය යටතේ සිටින බවට ඔවුන්ගේ ගේට්ටුවල ස්ටිකරයක් අලවනු ලැබේ. කම්කරුවන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලබා නොදී බිත්ති හතරක් ඇතුළත සහ ගේට්ටුවක් පිටුපස කොටු කර තිබේ. ඔවුන්ගේ නඩත්තුව සඳහා වගකිව යුතු නිල ආයතනයක් නොමැති නිසා මෑන්පවර් නියෝජිත ආයතන සේවකයන් මෙම තත්වයන් යටතේ විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.

නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ සහ මෑන්පවර් සේවකයන්ගේ අයිතීන්  වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධව ආයෝජන මණ්ඩලයට යොමු කළ අභියාචනය මගින් ඉල්ලා ඇත්තේ පහත දැක්වෙන ඉල්ලිම් වලට කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙසයි.

  1. අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින සේවකයන්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම.
  2. මෑන්පවර් සේවකයන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළුව, නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට කම්කරුවන් පිළිබඳ හදිසි සමීක්ෂණයක්, අවශ්‍යතා තක්සේරු කිරීමක් සිදු කිරීම,
  3. මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ දැනට වැඩ කිරීමට නොහැකි වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම,
  4. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම,

05. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව         සහතික  කිරීම,

  1. බෝඩිම්වල හෝ කර්මාන්තශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබා දී ඇති බවට සහතික වීම,
  2. නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ / හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම,
  3. ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම,
  4. කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කාර්මික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, ලංකා ගුරු සංගමය, දාබිඳු සාමූහිකය, විමුක්ති ව්‍යාපාරය, ශ්‍රී  ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය, ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, ලංකා නැගීසිටිමු ව්‍යාපාරය හා එක්සත් කම්කරු සම්මේලනය විසින් ආයෝජන මණ්ඩලය වෙත මෙම   “හදිසි අභියාචනය ” ඉදිරිපත් කර තිබේ.

Social Sharing
නවතම