“මේ උත්සාහය ආයෙත් රටම ගිනි තියන්න” – මාමන්කඩවල පියරතන හිමි (උතුරු හා උතුරු මැද දෙදිසාවේ ද්වීතික සංඝනායක)

1977 මැතිවරණයෙන් 5/6 ක සුපිරි බලයක් ගත්ත ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක අතිශයින්ම ප්‍රතිගාමී එකාධිපති ව්‍යවස්ථාවක්. ඒක තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන මේ ආයතන තුනේ බලය එක පුද්ගලයෙක් වෙත ඒකරාශී වුනා. ඒක නිසා මේ රට ඉතා භායානක අත්තනොමතික පාලනයකට ගියා. ඔහු මේ රට විවෘත්ත කරා, ඒ වගේම ඊට පෙර ආණ්ඩුව කළ ක්‍රියාවල හොඳම ප්‍රතිඵලය තමා ණය ගෙවා අවසන් කිරීම. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට විශාල වශයෙන් ණය ගන්න හැකියාව ලැබුනා. එනිසා ණය කන්දරාවකට අපි මුහුණ දුන්නා ඒ ක්‍රියාවලිය තුළ. ඒ විතරක් නෙමයි මෙම ව්‍යවස්ථාව නිසා රට තුළ ඇතිවුණ තවත් භායනක දෙයක් තමයි ජෙ.වි.පි. කැරැලිකාර තත්ත්වය හා එල්.ටි.ටි.ඊ කැරලිකාර තත්ත්වය. මේ ව්‍යවස්ථාව සමග අවුරුදු 5ක් 6ක් ගතවෙනකොට අපට තේරුණා මුළු රටම ගිනි ගත්තා වගේ මහා විශාල කැරලීකාර තත්වයකට රට පත්වෙනවා. එම කැරලි නිසා දසදහස් ගාණක් ජිවීත විනාශ වුණා. ඉතිං ඒවා තමා එකාධිපති ව්‍යවස්ථාවක් නිසා රටට සිදු වුණ බලපෑම්. අත්තනෝමතික පාලනයකට යටත් වීම, අධිකරණයේ ස්වාධීනත්වය නැති වීම, පාර්ලීමේන්ති මන්ත්‍රිවරු පඹයන් බවට පත්වීම. ඒ වගේම එවැනි මතවාද පිල්ගන්නා අයට රට තුල ඔනෑම හොර තක්කඩි කමක් කිරීමට හැකි වීම. මේ අත්තනෝමතික පාලයනයන්ට විරුද්දව තමයි තරුණ තරුණියන් නැගි සිටියේ. ඒ ඉතිහාසය අපි අමතක කළ යුතු නැහැ. මේ ව්‍යවස්ථාව නිසා උතුරේ සහ දකුණේ තරුණ ජීවිත ලක්ෂයකට වඩා මරු වැළඳ ගත්තා. තරුණ තරුණියන් කී දාහක් අතුරුදන් වුණා ද? අපේ රටේ ආර්ථිකය කොතරම් දුරක් පස්සට ගියා ද? අපිට 1978 ව්‍යවස්ථාවෙන් රටට වුණ නස්පැත්තිය පිළිබඳව නිසි ගනන් හැදීමක් තිබෙනවාද? එහෙම තියෙනවා නම් අපි මෙහෙම ආයෙත් 1978ට යන්න හිතන්නෙවත් නැහැ.

මේ සියළුම කරුණු සලකා බලනකොට එකාධිපති පාලනයක ඇති බරපතලකම අපට තේරෙනවා. එක නිසා තමයි එම ව්‍යවස්ථාව යහපාලන ආණ්ඩුව යටතේ සංශෝධනය කර අළුත් කරේ. හැබැයි එම ව්‍යවස්ථාවේ සැබැ තත්වය ජනතාවට අවබෝධ වුනෙත් නෑ. එවක ආණ්ඩුව ඒ පිළිබඳව නිසි අවබෝධයක් ජනතාවට දුන්නෙත් නෑ. විශේෂයෙන් මේ රටේ සන්නිවේදන මාධ්‍ය, ප්‍රගතිශීලි දෙවල් වෙනකොට එවා ජනතාව අතරට අරන් යන්න ඔනේ. ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්න එවා වුනොත් තමයි. අපේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන කරපු ක්‍රියාකරකම් දිහා බලපුවාම, ඊළඟට අපේ ජාතික සංවිධාන කරපු දෙවල් දිහා බලපුවාම ජනතාවට හිතුනේ යහපාලන ආණ්ඩුව මහා ලාචෝරු ආණ්ඩුවක් කියලා. එනිසා මෙක වැඩක් නෑ ඒකාධිපති දැඩිපාලනයක් අවශ්‍යයැයි මතයක් හැදුවා. එක පැත්තකින් අස්ගිරි නායක හාමුදුරුවරු කරපු ප්‍රකාශනයක්, ඇතැම් භික්ෂූන් වහන්සේලා කරපු ප්‍රකාශයනුත් ඉතාම බලපැවා. ඒ විතක් නෙවෙයි සන්නිවේදන ජාල වලින් දිගින් දිගටම  මෙම මතය උලුප්පා දක්වමින් සිදු කල ක්‍රියාකාරකම්, මේ තත්වය උදා වීමට හේතුවක් වුනා. කොයි යම් හෝ පක්ශයක් පරාජයට පත් කරලා තවත් පක්ශයක් බලයට ගෙන එම මිනිස්සුන්ගේ ස්භාවයක්. නමුත් මේ වගේ බොරු නිර්මානය කරලා අන්තිමට රටට වෙච්ච දේ ඉතාම භයානකයි.

මීට පෙරත් 72 ආණ්ඩුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කරපු ප්‍රගතිශීලි ක්‍රියාකාරකම් ඉතාම ඉහලයි. ඒ වගේම මේ රට සංවර්ධනය වන ස්වාධීන රටක් බවටද පත් කරා. නමුත් ජනතාව එක් හසු වෙලා ජේ. අර් ජයවර්ධනගේ ගැටේට අහුවෙලා ඔහුට 5/6ක බලය ලබා දුන්නා. මේ රට විනාශයට අරගෙන ගියේ එම බලය. ඊළඟට මේ යහපාලන ආණ්ඩුව, යහපාලන ආණ්ඩුවට කිව්වේ යහපාලන නෙමයි වහ පාලන ආණ්ඩුව කියලා. ඇත්තටම ඒකෙන් හම්බුන ව්‍යවස්ථාවමය නිදහස කොතනකවත් සඳහන් වුණේ නෑ. දුර්වලකම් තමා සැම තැන්ම ඉස්මතු කරලා පෙන්නුවේ. සියලු ප්‍රගතිශීලි ක්‍රියාකාරකම් වසන් කළා. එකෙන් මේ සියල්ල අනිත් පැත්ත ගැහුනා. අද ඒ අයට ඔනේ විදිහට ජෙ. අර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව ගෙන්න හදනවා.

මෙක ඉතා කණගාටුදායක තත්වයක්. ප්‍රජාතනිත්‍රවාදය ඉදිරියට ගෙනියනව කියලා රාජාණ්ඩුවක් ගෙන එම නම් කරන්න හදන්නේ එය ආපස්සට යෑමක් මිසක් ඉදිරියට යෑමක් නෙමෙයි. ඉතිං මේ වගේ දේකට ජනතාව කැමැත්ත දීලා කරන්න හදන්නේ අවුරුදු දයෙන් පහලොවෙන් නැවත තරුණ තරුණියන් කැරලි ඇති කරන තත්වයකට රට පත් කරන්නද? ඔවුන්ගේ අනාගතය විනාශ කරන්නද? මේ හදන්නේ ආයෙත් මේ රට ගිනි තියන්න. මේ ගැන රටේ ජනතාව තව පාරක් සිතිය යුතුයි.

නමුත් අපි දැක්කා දැන් සිටින ආණ්ඩුවෙත් ප්‍රගතිශීලි අමාත්‍යවරු මෙයට විරුද්ධව හඬ නගනවා. එය ඉතම හොද තත්තවයක්. අවසාන වශයෙන් මා ඔවුන්ට කීමට කැමතියි ඔබ මෙම සංශෝධනයට ඡන්දය භාවිතා කරන විට කොන්ද පන ඇති ජනතා නියෝජිතයෙක්, ජනතාව ආරක්ශා කරන්නෙක්  ලෙස බුද්ධිමත්ව සිතා බලා ඡන්දය භාවිතා කරන්න කියලා.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග