අනෙකාගේ ඇස තුල අප කවුද?

Make Singapore Clean 𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

සිංගප්පුරුව තුල එතෙක් මෙතෙක් දියත්කළ විශාලම ප්‍රචාරණ වැඩපිළිවෙලක් වන්නේ ‘සිංගප්පුරුව පිරිසිදුව තබාගමු’ වැඩපිළිවෙලයි (Make Singapore Clean). මෙයටම එකතුවූ ඊළඟ වැඩපිළිවෙල උනේ ‘පිරිසිදු සහ හරිත සිංගප්පුරුවක්’ යන්නයි (Clean and Green Singapore).

නාගරිකකරණයේ නොයෙක් නොයෙක් මිනිස් ක්‍රියාවලින් නගර අපවිත්‍රවීම සහ කොළපැහැය නැතිවීම නැවත ප්‍රතිජීවනය කිරීම මේ වැඩසටහන් විසින් සිදු කෙරුණා.

ලි ක්වාන් යූ ගේ යකඩ හස්තයෙන් ආරම්භ වූ මේ වැඩසටහන ඔස්සේ අද වනවිට ලෝකයේ පිරිසිදුම රටක් බවට සිංගප්පුරුව පත්ව තිබෙනවා.

ලි ක්වාන් යු කියනවා මේක ආරම්භයේදී ඉතාම ආතතිගත දෙයක් උනා කියල. සහ ඒ වගේම ඉතාම පුද්ගලික තලයකදී දේවල් වලට අතදාන්න සිද්දවුනා කියල. ඔහු පාවිච්චි කරන්නේ interfere කියන වචනේ. ඒක බටහිර ලිබරල් රාජ්‍යයක් නොකරන තරමේ දෙයක්. හැබැයි අපිට අද ඉන්න තැනට එන්න ඒ අතදැමීම වැදගත් උනා කියල.

බුලත් විට කන්න එපා. කෙළ ගහන්න එපා කියන එක ඒවගේ පුද්ගලික දෙයක්. ගෙදර කුණු පාරේ දමන්න එපා කියන එක පුද්ගල වගේම පොදු දෙයක්.

ඒ වගේම අපි ස්වදේශීය භාෂා කතාකරන චැනල් නැවැත්තුවා. ටික කලක් යනකොට ඉංග්‍රීසි කතාකරන චැනල් වල යන දේවල් මිනිස්සු තේරුම්ගන්න උත්සාහ කළා. ඒ චැනල්වල ගිය තමන්ගේ භාෂාවේ නොවන විහිළු තේරුම් ගත්ත.

ඒ වගේ ටිකෙන් ටික අපි අද ඉන්න තැනට ලඟා උනා.

ආණ්ඩුවක් තියෙන්නේ ඒකෙ ඇමතිවරුන්ට ළමයි වඩා ගන්න එකටයි උම්මා දෙන එකටයි විතරක් නෙවෙයි. මිනිස්සුන්ට ඇත්ත කියන්න. අපිට යන්න ඕනි තැන කියන්න. ඒක අමාරුයි. හැබැයි එහෙම කරන්න. නැත්නම් උඹල උම්මා දුන්න ජනතාවත් ඉවරයි උඹලත් ඉවරයි.

අද ඒ රට අපි හැමෝම යන්න ආස රටක්. උදාහරණයට ගන්න රටක්. අපේ ඇස තුල සිංගප්පුරුව කියල රටක් තියනවා.

ඒක නූතන රටක්….

-මහේෂ් හපුගොඩ-

Social Sharing
අවකාශය නවතම