ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යනු සෑම මාධ්‍ය ආයතනයකම කොඳු නාරටිය බඳුය. ඔවුන් නැතිනම් කොළඹ කාර්යාලවල සිටින කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගෙන් පමණක් මාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකිය. සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රාදේශිය මාධ්‍යවේදියා වටින්නේ ඒ නිසාය.

නමුත් පුවත් වාර්තාකරණයේදී විවිධ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට එල්ල වන බලපෑම්, තර්ජන පහුගිය දින කිහිපය තුල ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුයේ මුලතිව් මුරිප්පු ප්‍රදේශයේ සිදු කරන පරිසර හානියක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය උතුරේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල වීමය. මෙම පහරදීම සිදුකර තිබෙන්නේ අදාල පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයන් විසිනි.

මෙසේ පහරකෑමට ලක්ව තිබෙන්නේ යාපනය ජනමාධ්‍ය සංගමයේ සාමාජිකයන් වන ෂන්මුගම් තවසීලන් සහ කනපතිපිල්ලේ කුමනන් යන මාධ්‍යවේදීන්ය.

ජාවාරම්කරුවන් විසින් ඔවුන් දෙදෙනාට යකඩ පොලු භාවිතා කරමින් පහර දී ඇති අතර ඔවුන් සතුව තිබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද මකා දමා තිබේ.

තුවාල ලැබූ මාධ්‍යවේදීන් දෙදෙනා මේ වනවිට සිටින්නේ  මුලතිව් රෝහලේය.

මීට පෙර මොණරාගල ප්‍රාදේශිය මාධ්‍යවේදි ඉඳුනිල් විජේනායක මහතාද ජාවාරම්කරුවන් පිරිසකගේ මැර ප්‍රහාරයට ලක් වුයේය.

ඒ කුඹුක්කන් ඔයේ අනවසර  වැලි ගොඩ දැමීම පිලිබඳ වාර්තා කීරිමට ගිය හෙයිනි.

එමෙන්ම ත්‍රිකුණාමලයේ ලක්මාල් බදුගේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාද පහුගිය කාලයේ මැර පිරිසකගේ තර්ජන වලට ලක් විය. ඒ වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකළ ඉදි කිරිම් හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හෙළි කිරිම නිසාය.

මෙයින් පෙනී යන්නේ දැන් දැන් මාධ්‍යවේදින් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන බවය.

මේ සියලු පහර දීමකදීම, තර්ජනය කිරිමකදීම මාධ්‍ය සංවිධාන වලින් විවිධ නිවේදන නිකුත් කළද ඉන් එහා දෙයක් මාධ්‍යවේදීන්ට සිදු වෙන බවක් පෙනෙන්නට නැත.

අගනුවර මාධ්‍යවේදියෙකුට මෙලෙස හිරිහැරයට පාත්‍රවුයේ නම් ඔහු හෝ ඇය රට හැර විදේශගත වන්නේය. නැතිනම් කොළඹ කොටුවේ උද්ඝෝෂණ කරති. නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ඒ්වා හිමි නැත. ඔහු තනිවම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් හා සටන් කළ යුතුව ඇත. අවම වශයෙන් ඔහුගේ තනිනොතනියට ප්‍රාදේශීය මාධ්‍ය සංගම් පමණක් පිහිටට පැමිණෙති.

එවන් පසුබිමක් තුල මාධ්‍යකරණයේ යෙදෙන මෙම ප්‍රාදේශිය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු වීම වළැක්වීම කෙරෙහි ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද අවධානය යොමු කළ යුතුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම