බ්‍රැන්ඩික්ස් ආයතනය  පිළිබඳ විමර්ශනයට කමිටුවක් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අද (12) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත් කරනු ලැබීය.

කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් E.C.P. දාබරේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි  K.B.G.ප්‍රේමදාස යන අය එම විමර්ශන කමිටුවේ සාමාජිකයන් වේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පසුගිය දිනවල රෝගාතුරව සිටිය දි ,ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ සත්කාරක සේවා ලබානොදීම සහ එම රෝගාතුර තත්වයන් තුළ ඔවුන්ට නිවාඩු ලබා නොදී අඛණ්ඩව සේවය  ආදිය පිළිබඳව ජනමාධ්‍යයන්හි පළ වාර්තා ද පදනම් කරගෙන ,එම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීපතමයන් ගෙන් ද ,කෝවිඩ් සමයේ ක්‍රියාත්මක කළ යුතු කම්හල් සෞඛ්‍ය කමිටු නිසි පරිදි මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මකවීද,කෝවිඩ් වැලැක්වීමේ සෞඛ්‍ය උපදෙස් මෙහි අනුගමනය කළේ ද, යනාදිය පිළිබඳ කර්මාන්ත ශාලා පරිපාලනයෙන් ද මේ පිළිබඳ පූර්ණ ප්‍රකාශ  ලබාගෙන සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ඒමෙන්ම සිය පැමිණිලි,සාක්ෂි සහ සිය සාමාජිකයන්ගේ ප්‍රකාශ මෙම කමිටුවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන් ද ඉල්ලා සිටියේය.

කම්කරු අමාත්‍යංශය ස්ථාපිත කළ සේව්‍ය,සේවක කොවිඩ් කාර්ය සාධක කමිටුව කම්කරු අමාත්‍යංශයේ අද (12) පැවති සාකච්ඡාවේදි  වෘත්තීය සමිති නියෝජිතයන් මතු කළ කරුණු පෙරදැරිව අමාත්‍යවරයා මෙම කමිටුව ස්ථාපිත කළේය.

 

Social Sharing

නවතම