ආරක්ෂක ලේකම්ගේ කතාව “විකෘති කළ” බවට රූපවාහිනියකට චෝදනා

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් විෂය භාර  අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් පළමු  වැනි දින  පැවති, වව්නියාව දිසාපති කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගි වූ  අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයන් රැසක් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගිවී සිටි  බව පවසන මේජර් ජෙනරල් කමල් ගුණරත්න පෙන්වා දෙන්නේ  ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් ද  වූ බවයි.

එහිදී  අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් තමන්  එම උත්සවය අමතා සිදු කරන ලද  කතාවෙහි ඇතැම් කොටස් විකෘතිකර පුද්ගලික මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම තුලින් වගකිව යුතු රාජ්‍ය නිලධාරියකු ලෙස තමාගේ  ප්‍රතිරූපයද සමස්තයක් වශයෙන් රජය කෙරෙහිද ජනතා අප්‍රසාදය ඇතිකිරීමේ අසාර්ථක ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ඔහු වැඩි දුරටත් චෝදනා කරයි.

“එහිදී පුද්ගලික මාධ්‍ය ජාලා කිහිපයක් හා සමාජ මාධ්‍ය ජාලා මගින් වාර්තා කර ඇති අන්දමට මා විසින් සිදුකරන ලද කථාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සඳහා ගුණවැයීමක් සිදුනොකල අතර, විනය ගරුක රාජ්‍ය නිලධාරියකු ලෙස කිසිදු දේශපාලනඥයකුගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනතා සේවයට කැපවුන රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මා ප්‍රකාශ කර සිටිමි.”

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඒ බව පවසා ඇත්තේ ඔක්තෝබර් 5 අඟහරුවාදා  ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

චෝදනාවට ලක්වී තිබෙන වීඩියෝ දර්ශනය ප්‍රචාරය වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සිංහල ජාතීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හෙලා දකිනු පෙනෙන්නට තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක දැක්වෙන පරිදි  ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකළ සම්පූර්ණ කථාවට අනුව ඔහු සිදු කර ඇත්තේ  එම උත්සව සභාවෙහි ආරාධිතයකු වු වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාල්ස්  වව්නියාව දිසාපති වශයෙන් රාජකාරි කරන සමයෙහි, පුනරුත්ථාපන කටයුතු පිලිබඳ නිසි බලධාරියා වූ ඔහුට ඇය විසින් දෙන ලද සහාය පිළිබද ඇගයීමකි.

ඒ අතර යුද්ධයෙන් අනාථ වූ  දෙලක්ෂ අනුහතර දහසක් නැවත පදිංචි කිරීම, LTTE සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කිරීම හා බිම් බෝම්බ ඉවත්කිරීම වැනි ක්‍රියාවන්ට දායකත්වය දැක්වීම විශේෂයෙන් ඇගයීමට ලක්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාල්ස් වෙනුවෙන් සිදුකරන ලද ප්‍රකාශයේ විශාල කොටසක් ඉවත්කොට එම කථාවෙහි තිබු වෙනත් ප්‍රකාශයක් හා සම්බන්ධකර විකෘති ප්‍රතිනිර්මාණයක් එක්තරා මාධ්‍ය ජාලයක් විසින් පෞද්ගලික මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ විකාශනය කිරීමට ක්‍රියාකර ඇති බවයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න පවසන්නේ.

“එබැවින් ඉහත සඳහන් කල පරිදි පටු පුද්ගලික අරමුණු සාක්‍ෂාත් කරගැනීමට මෙවන් විකෘති ප්‍රකාශ සමාජගත කිරීම තුලින් අවංක රාජ්‍ය නිලධාරියෙකු ලෙස මා ගෙන යන වැඩපිළිවෙලට පහර ගැසීම හා ඒ තුළින් රජය අපහසුතාවයට පත්කිරීමට කටයුතු කිරීම මා ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.” ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

Social Sharing
නවතම