බ්‍රැන්ඩික්ස් සමාගම ඉන්දියාවෙන් ගෙන්වූ ගුවන් යානා 03 ගැන හෙළි නොකළේ ඇයි?

බ්‍රැන්ඩික්ස් සමාගම දැනට ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙන සමාගමක් ලෙස රජය සලකනු ලබයි. මෙම සමාගමට  රෙදිපිලි ගෙන්වන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි.  මෙහි ශාඛා දිවයින පුරා රැසක් පිහිටා ඇත. මිනුවන්ගොඩද එහි එක් ශාඛාවකි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරොනා පොකුර සම්බන්ධයෙන් මේ වන විට රට තුල පවතින්නේ දැඩි චකිතියකි. මේ වෛරසය යළි බාහිර සමාජයට මුදා හැරුණේ කෙසේද? යන්න තවමත් හඳුනානොගත් ගැටලුවකි. එවන් පසුබිමක් තුල සමාජ මාධ්‍ය වලින් කියා සිටින්නට වුයේ මෙම වෛරසය පැමිණියේ ආයතනය ඉන්දියාවේ සිට රැගෙන ආ ඉන්දීය ජාතිකයින් පිරිසක් නිසා බවය.

මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ඊයේ (07) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර තවත් පිරිසක් කියා සිටින්නට වුයේ ඉන්දියාවෙන් මෙම බ්‍රැන්ඩික්ස් සමූහයට රෙදිපිලි ගෙන ආ බවය. ඔවුන් මසා ඇත්තේ එම රෙදිපිලි වලින් බවද එහිදී කියැවුණි.

මෙවන් පසුබිමක්  තුල සමාජ මාධ්‍ය වල නැවතත් ලිපියක් හුවමාරු වන්නට විය. ඒ බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් මත්තල ගුවන්තොටුපල හරහා ඉන්දියාවේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේ 60 කු මෙරටට ගෙන්වා ගත් බවටය. ඉන්දියාවේ, විසාකාපට්නම් හී සිටි පිරිසක් UL 1159 දරණ ගුවන් යානයෙන් සැප්තැම්බර් 22 දා සවස මෙරටට පැමිණි බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන B කන්දීපන් මහතාද තහවුරු කර සිටි බව අද (08) මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ  ඉන්දියාවේ, විසාකාපට්නම් පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශේෂ ගුවන්යානා තුනකින් මෙරටට ගෙන්වා ගත් බවය. ඔවුන්ට PCR පරික්ෂණ සිදු කිරීම, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය මත රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්වීම අනුගමනය කළ බව සහතික වන බවත් එහි සඳහන් කර ඇත.  එමෙන්ම ඔවුන් කිසිවෙකු මිනුවන්ගොඩ ආයතන පරිශ්‍රයට ඇතුල් නොවූ බවද කියා සිටින එම නිවේදයෙන් වැඩිදුරටත් පවසන්නේ අසනීප තත්ත්වයේ පසු වූ සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන ලෙස බලපෑම් නොකළ බවය.

මෙම නිවේදනයේ තොරතුරු අනුව එහි ගැටලුකාරී බවක් පෙනෙන්නට ඇත.

ඔවුන්ගේ මෙම නිවේදනයට අනුව ඒ විශේෂිත ගුවන් යානා මෙරටට පැමිණි දිනයක්, වේලාවක්, ගුවන් ගමන් අංකයක් පැහැදිලිව සඳහන් කර නැත. එමෙන්ම මොවුන් නිරෝධායනය වුයේ රජයේ කුමන අනුමත මධ්‍යස්ථානයකද? ඔවුන් දින 28 ක් සම්පුර්ණයෙන් නිරෝධායනයට ලක් වු වා නම් නිරෝධායන කටයුතු අවසන් කිරීමට ඇත්තේ ඔක්තෝම්බර් 20 දාය. එහෙත් බ්‍රැන්ඩික්ස් ආයතනය සහතික වන්නේ ඔවුන්නේ සාර්ථකව නිරෝධායනයට ලක් වූ බවයි. ඒ අනුව ඔවුන් වක්‍රව පැවසෙන්නේ ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයින් මේ වනවිට නිරෝධායන කටයුතු අවසන් කර ඇති බවද?  ඔවුන් දැන් සිටින්නේ කොහේද? යන්න පැවසිය යුතුව ඇත.

තවද ඉන්දියාවේ ශාඛාවන් හී ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් සේවය කළේද, පවුල්වල සාමාජිකයන් ද සමග ඔවුන් කී දෙනෙකු සිය රට ගෙන්විය යුතුව තිබුණේද සහ කී දෙනෙකු ඉන්දියාවේ ඉතිරිව සිටියිද යන්න ගැන කිසිදු සඳහනක් මෙහි කර  නැත. මෙවැනි දත්ත නිල පැහැදිලි කිරීමක අනිවාර්ය අංග වේ. එසේ නොමැතිව මෙම නිවේදනයේ විනිවිදභාවයක් දැකිය නොහැක.

එමෙන්ම මොවුන්ගේ PCR කටයුතු සිදු කළේ පෞද්ගලික අංශයකින් පැවසුවත් ඒ කවුද යන්න මෙතෙක් හෙළිව නැත.

-ශානිකා –

Social Sharing
නවතම