පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්!

පසුගිය ඔක්තෝබර් 05 වන දින මී හරක් 04 ක් සොරකම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට කුඩාඔය පොලිසිය විසින් අමානුෂික පහරදී බොරු චෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර  කර ඇති බව අයිතිය වෙත වාර්තා වේ. පොලීසිය සිදු කළ පහරදීම පිළිබදව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීම නිසා ඔවුන් බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. බන්ධනාගාර රෝහලේ සිටියදි ඔවුන්ගේ අසනීප තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් මේ වන විට දෙදෙනාම සිරිගල රෝහල වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය, පනාමුර, බන්ඩොක්කයාය, 04 කණුව දරණ ලිපිණයේ පදිංචි වික්‍රමගේ සානක චතුරංග හා ඇඹිලිපිටිය, උඩගම, සමන්මල් උයන දරණ ලිපිණයේ පදිංචි වික්‍රමගේ ඉෂාන් චින්තක ලක්මාල් යන දෙසොහොයුරන්ය.

මේ සිද්ධිය සම්බන්ධව ඔවුන්ගේ සොයුරිය මධුෂාණි මහත්මිය පවසා සිටින්නේ මෙම පැහැර ගැනීම සම්බන්ධව එදිනම ආසන්නම පොලීසි දෙක වන ඇඹිලිපිටිය හා පනාමුරේ වෙත ගොස් සොයා බැලුවත් එම පොලීසි විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව දැන් වූ බවත්ය. පසුව තම සොයුරන් කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ඇති බවට සදහන් කරමින්  ඒම පොලිස් ස්ථාන දෙකේම මේ සම්බන්ධව පැමිණිලි කළ බවද පවසයි.

ඔවුන් වෙත ලද තොරතුරක් මත කුඩාඔය පොලීසිය වෙත ගොස් මේ පිළිබදව සොයා බැලු අවස්ථාවේ ඇගේ සොහොයුරන් දෙදෙනා බුදූ මහත්තයෝ ගහන්න එපෝ කියමින් වේදනාවෙන් ශබ්ද  නගා කෑ ගසන හඩ ඇසුන බව පවසයි. ඒහි දී මේ පිළිබදව විමසා සිටි අවස්ථාවේ දී තම සොයුරන් පැහැරගෙන යාමට පැමිණි එක් නිළධාරියෙකු විසින් තම පියාට කතා කර ඔහෙලට මුදල් තියෙනව නේ, රැපියල් ලක්ෂ දහයක් දෙනව නම් කේස් එකක් නැතිව වැඩේ මෙතනින් බේරල දෙන්නම් යැයි පවසා තිබේ. එහි දී තම පිය ශත පහක්වත් නොදෙන බව එම පොලිස් නිලධාරියට ප්‍රකාශ කර මේ අයුක්තියට එරෙහිව නඩු කියන බව පැවසු බව මධුෂාණි මහත්මිය පවසයි.

Social Sharing
නවතම