ලංකාවෙන් වසරකට මැදපෙරදිගට ගිය ලක්ෂ 2, හතලිස්දහට සීමා වේ!

ශ්‍රී ලංකාව තුල යළි කොරෝනා වසංගත තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටින බව නෙත් එෆ්.එම් නාලිකාව වාර්තා කර තිබුණි.

එම පුවතට අනුව මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන නිදහස් කර අවශ්‍ය ඉඩකඩ ලබා   ගැනීම එයින් බලාපොරොත්තු වන බවත්  මේ වනවිට ඒ සදහා වන නවතම ගුවන් ගමන් කාලසටහන ද සකස් කෙරෙමින් පවතින බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර තිබුණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුයේ රැකියා ගිවිසුම් අවසන් වුවද කොවිඩ් 19 නිසා සියරට පැමිණිය නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙසය.

රැකියා සඳහා විගමනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි. වාර්ෂිකව ලක්ෂ 02 ක් පමණ විදේශ රැකියා සඳහා යන අතර කොවිඩ් වසංගතය නිසා මේ වසරේ එම පිරිස 40,000කට සීමාවී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණ. කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් පිටරට ගුවන් තොටුපල හා ගුවන් අවකාශය විවෘත කළ වහාම පුහුණු ශ්‍රමිකයන් වැඩි සංඛ්‍යාවක් පිටරටවල සේවයට යොමු කිරීම සඳහා මෙම කාලය තුළදී ඔවුන්ට භාෂා දැනුම ලබාදීම හා පුහුණු කිරීම පුළුල් කර විදේශ ශ්‍රම වෙළෙඳපොළ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ සංචිතයක් ස්ථාපනය උදෙසා දැනටමත් පුහුණු මධ්‍යස්ථානයක 17 ක පංති ආරම්භ කර ඇතැයි සඳහන් කෙරිණ.

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී  උපදෙස් දුන්නේය.

එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

පුහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නැයි උපදෙස් දුන්නේය. පෝලන්තය, රුමේනියාව වැනි නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළෙඳ පොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතී. ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළයුතු යයි ජනාධිපතිවරයා  පැවසීය.

උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා අවස්ථා හඳුනාගැනිමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු වී නැති අතර කලා උපාධිධාරීන්ට වුවද මේ අවස්ථා හිමිකරගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම ශ්‍රමිකයින් විදෙස්ගත කරන රැකියා නියෝජිතායතන වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු අතර  ශ්‍රමිකයන්ට විදේශන්හි දී සිදුවන හිරිහැරවලදි මේ ආයතනවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාව විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ඔහු කියා සිටියේය.

-ශානිකා-

Social Sharing
නවතම