කොම්පැනි ලෙඩ බෝ කළාට කොටු කරන්න නීති නෑ!

වසංගත රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි වුවත්, ඒවා කඩකරන ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සෞඛ්‍ය බලධාරීන්ට නොමැති බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එම හෙළිදරව්ව කොට ඇත්තේ ජාත්‍යන්තර පරිමානයේ ඇඟලුම් කම්හලක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කෝවිඩ් පොකුරෙන් ආසාදිත සංඛ්‍යාව දෙදිනක් තුල 560 ක් ඉක්මවා ඇති අවස්තාවකය.

“රට තුළ තව දුරටත් මාර්ගෝපදේශ වශයෙන් ප්‍රකාශයට පත් කරපු මාර්ගෝපදේශ වලංගුයි. නමුත් ඒවා නීති නොවීම සම්බන්ධව ගැටලුවක් තියනවා. මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධව. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන කඩ කිරීම සම්බන්ධව අපිට නීත්‍යනුකූලව කටයුතු කිරීමේ හැකියාවක් මේ මොහොතේ නෑ.”

බෝවන රෝගයක් වන කොවිඩ් 19 පාලනය කිරීම සදහා රටම බෝවන රෝග පාලනයට අදාලව නීරෝධායන නීතියත් මාර්තු මාසයේදී ස්ථාපිත කර තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරන්නේ එයට අදාලව 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥා පනතින් නීති කඩරන්නන්ට එරෙහිව නීත්‍යානුකුලව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව වෛරසය පාලනය සදහා ලබා දුන් සෞඛ්‍ය උපදෙස්, මුඛ ආවරණ පැළදීම, අත් සේදීම, විෂබීජ හරන ක්‍රියාවලිය වැනි උපදෙස් පිළි නොපදීනම් ඔවුනට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව සභාපති උපුල් රෝහණ  පෙන්වා දෙයි.

ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ  දැන දැන බෝවන රෝගයක් පැතිරීම සදහා පිටුවහලක් ලැබෙන අන්දමට කටයුතු කරන්නේ නම් ඕනෑම පුද්ගලයකුට එරෙහිව සෘජුවම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පැවරීමේ හැකියාව පවතින බවයි.

Social Sharing
නවතම