ලෝක දින සැමරුම අහිමි දරුවන් දුටිමි.

අද ඔක්තෝම්බර් පළමුදාය. සියලු‌ දෙනාටම අද විශේෂ වන්නේ ලෝක ළමා දිනය අදට යෙදී ඇති බැවිනි. වෙනදා දරුවන් දෙස ඇසක් ඇර නොබලපු පුද්ගලයින් අද මුහුණු පොතේ ලෝක ළමා දිනය සම්බන්ධව පෝස්ටු දමති.

මේ අතර රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද ලෝක ළමා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කර තිබුණි. ඔහු පවසා තිබුණේ රටේ අනාගත වත්කම අපේ දරු පරපුර බවත්  ඔවුන් දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම වන බවත්ය. ඒමෙන්ම  දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප‍්‍රමුඛ කාලීන අවශ්‍යතාවක් බවය.

ඒම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබුණි.

රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්නායක කොපමණ දුරට ළඟා කර ගත්ත ද සමාජය මානව දායව බඳු යහ ගුණ පිරි මනුෂ්‍යයන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි මම විශ්වාස නොකරමි. එවන් රටක් ගොඩනැගීමට අපි සියලු දෙනා ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂාමය ඥානයෙන් ද දරු පරපුර සන්නද්ධ කළ යුතුය.

භෞතික සහ මානසික ද්‍රරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම මගේ ඒකායන අපේක්ෂාවයි. එබඳු රටක දරුවන් සතුටින්, සැනසීමෙන්, සුවයෙන් වාසය කරනු නියතය. ඒ නියතය අත්දකින අත්විඳින පරපුරක් ගොඩනැගීමට ඔබේ දරුවාගේ ළමා කාලය ඔබ කල්පනාකාරීව මෙහෙයවනු ඇතැයි මම සිතමි. මෙවර ලෝක ළමා දින තේමාව වන ”අපේ රට – අපේ දෑතින්” යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටය.

මෙකී නිවේදනයට අනුව ජනාධිපතිවරයාගේ සිතුවිල්ල යහපත්ය. නමුත් ඒය ලෝක ළමා දිනයේ නිවේදනයට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මකව විය යුතුව ඇත.

කොවිඩ් වසංගත සමයේ නිවසේ සිට දරුවන්ට අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබා දීමේ වැඩ සටහනක් රජය ගෙන ගියද අන්තර්ජාලය නොමැති වීමෙන් දරුවන් රැසකට අධ්‍යාපන ලැබීමේ අවස්ථාව අහිමිව ගිය බව ඔය කිසිවෙකු නොදන්නවා විය හැකිය.

විශේෂයෙන්ම කලුතර, පාලින්දනුවර දරුවන්ට, හඳපානාගල ජනාවාස වල වෙසෙන දරුවන් මෙම තත්ත්වයට මුහුණ දී තිබුණි.

ඒමෙන්ම මොණරාගල – සිරිගල – මොණරකැලේ වත්තේ දරුවන් ද ඒසේය. ඔවුන් දන්නේ ඔවුන් ගෙවන දුක්ඛිත ජිවිතය පමණි.

ළමා දින සැමරුම් නගරයේ අතිඋත්කර්ශවත් ලෙස පැවැත්වේ. ඒහෙත් ජිවිතේ කෙදිනකවත් ළමා දින සැමරුමක් දැක නැති දරුවන් පිරිසක් වෙනුවෙන් මේ දිනය , මේ කාලය වෙන් කිරිමට මේ මැති ඇමතිවරුන්ට හැකිනම් ඒය සැබෑ ලෝක ළමා දින සැමරුමක් වනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම