ආණ්ඩුවේ ‘ෂෝ’ විතරයි ‘එනවා,.. බයිනවා,.. කෝල් එකක් ගන්නවා යනවා’

වර්තමානය වන විට පවතින්නේ ෂෝ පමණක් පවතින ආණ්ඩුවක් බවත් 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලබා දුනහොත් ඔහු කරන ඕනෑම වැ‍රැද්දකට අධිකරණයට හෝ කොමිෂමකට හෝ පොලීසියකට හෝ කැඳවීමට නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ව්‍යවස්ථා සංශෝධනයක් බවත්  සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) සවස පොලොන්නරුව සුංගාවිල දී පැවති මහජන හමුවක දීය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

“දහ නමවන සංශෝධනය තිබුණ නිසා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිෂම හමුවට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් 20 ආවාම ජනාධිපතිට මුක්තිය ආවාම ඔහු කරන ඕනෑම වැ‍රැද්දක් සම්බන්ධයෙන් කොමිසමකට, උසාවියකට, පොලිසියකට ගේන්නත් බෑ, නඩු දාන්නත් බෑ නඩු අහන්නත් බෑ, දඩුවම් දෙන්නත් බෑ. එතකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන නැත්නම් ජනාධිපතිට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන්න ඕන නම් ඒකාධිපති 20 ගේන්න ඕන. නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ඕන නම් දැන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට යනවා වගේ හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනද නැද්ද කියන එක මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන. මේ ආණ්ඩුවට කිසිම ආර්ථික කළමනාකරණයක් නෑ. බොරු ෂෝඨාභය ආණ්ඩුවක් මේක. හාල් පොල් ආනයනය කරන්න වෙලා. ඉස්සර පොල් බෑය අරගෙන ගියේ. මේක ෂෝ විතරයි. එනවා බයිනවා කෝල් එකක් ගන්නවා යනවා. මොකුත් නෑ. ෂෝ විතරයි. මිනිස්සු බඩගින්නේ..”යැයි ද ඒ මහතා පැවසීය.

ඊෂා   මුදියන්සේ-පොලොන්නරුව

Social Sharing
නවතම