මැතිවරණ වර්ෂයක කලබල…

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.

ලංකා රජය මේ වන විට ණය ගෙවීම සඳහා දරණ වියදම හැර සෙසු ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබේ. 2023 අවසන් කාර්තුවේදී යම් අතිරික්තයක් ද වාර්තා විය. එසේම, ජාතික ආර්ථිකයේ ගෙවුම් ශේෂය ද තුලනය කරගෙන තිබේ. ඩොලරයේ සැබෑ වටිනාකම අනුව මිල නියම වීම නිසා ආනයන සඳහා ඉල්ලුම අඩු වී තිබේ. අපනයන දිරිගැන්වේ. වාහන වැනි ඇතැම් ආනයන සම්බන්ධ සම්බාධක තවමත් ක්‍රියාත්මකව පවතින අතර 2022 අප්‍රේල් මාසය වන විට බිංදුවට ආසන්නයට සිඳී ගොස් තිබුණු විදේශ සංචිත ද මේ වන විට සැලකිය යුතු මට්ටමකට ගොඩනගාගෙන තිබේ.

සංචාරක කර්මාන්තයේ පිබිදීමක් ඇත. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩි වී තිබේ. 2024 වසරේදී ඍජු විදේශ ආයෝජන වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය කීපයක් මෙම වසරේදී පෞද්ගලිකකරණය කරනු ඇත. බදු වැඩි කිරීම හා සහනාධාර කපාහැරීම හේතුවෙන් ඇති වන නව තත්වයට දේශීය කර්මාන්තකරුවන් තවමත් හැඩගැසී නැත.

තවමත් රාජ්‍ය ආදායමෙන් 50%කට වඩා වැය වන්නේ අති දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශය නඩත්තු කිරීමටය. අස්වැසුම වැනි දිළිඳු සහනාධාර හේතුවෙන් සමාජයේ දිළිඳු කොටස් අතර යැපුම් මානසිකත්වය තවදුරටත් නඩත්තු කරනු ලැබේ. ජනතාව අතර ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වී තිබෙන මුත්, රජය තවමත් ව්‍යාපාරකරණය දිරිමත් කරන අන්දමින් වෙනස් වී නැත. උද්ධමනය තනි ඉලක්කමක අගය තුළ පාලනය කරගෙන ඇත. ඉන්ධන හා විදුලිය වෙනුවෙන් ඇති හැකි අයට ද සමග පොදුවේ පසුගිය සමයේදී ලබාදුන් සහනාධාර සම්පූර්ණයෙන්ම පාහේ කපාහැර තිබේ. දිළිඳු හා අවදානමට ලක් වූ ප්‍රජාවන්ට එම තත්වය සමග තවමත් හැඩගැසීමට බැරි වී ඇත. කෙසේ වෙතත් අවිධිමත් අංශයේ හෙවත්, සේවා කොන්ත්‍රාත් මත වැඩ කරන අයගේ වැටුප් මේ වන විට ඔවුන් විසින් වැඩි කරගෙන ඇති බව අධ්‍යයන විසින් පෙන්වා දී තිබේ.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම්, යා යුතුව තිබෙන එකම මාර්ගය මෙයයි. වෙනත් විකල්පයක් කිසිවකු විසින් ඉදිරිපත් කර නැත. විකල්ප නැතුව නොවේ. රාජ්‍ය සේවය 50%කින් පමණ හැකිළීම හෝ වැටුප් අඩු කිරීම පවා විකල්ප විසඳුම්ය. ජනප්‍රිය නොවන නිසා කිසිවකු එවැනි විකල්ප සලකා බලන්නේ නැත. මැතිවරණ නුදුරේ තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද ඒ ගැන අවධානය යොමු කරන්නේ නැත.

2024 මැතිවරණ වර්ෂයේ මැදට අප පිවිසෙමින් සිටින්නේ මෙම සංදර්භය තුළය. මුලින් එළැඹෙන්නේ කුමන මැතිවරණයක්ද යන ප්‍රශ්නය පවා අප හමුවේ ඇත. 2019, 2020 වසරවල මැතිවරණවලදී තුනෙන් දෙකේ ජනවරමක් ලැබූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමානයේදී කැබලි කීපයකට බිඳී ඇත. බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශ්වය මහ මැතිවරණයක් ලබාගැනීමට උත්සාහයක් දැරූ මුත්, එය සාර්ථක වන බවක් නොපෙනේ. ඔවුන්ගේ උපකල්පනය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගයට මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොලැබෙන බැවින් සෙසු පක්ෂවලට හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇති බවයි.

ජනාධිපතිවරණය පිළිබඳ සලකා බැලූ කල මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටින බව පෙනේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යම් තරගකාරී මට්ටමක සිටින මුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය සඳහා තිබෙන අවස්ථාව අවම බවට මතයක් සමාජයේ ඇත. මේවා හුදු මත පමණක් වන අතර, කිසිදු විධිමත් ජනමත සමීක්ෂණයක් මත පදනම් වන්නේ නැත. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය වැනි සංවිධාන විසින් කුඩා නියැදි යොදාගෙන අවිධිමත් ලෙස කරන ලද සමීක්ෂණ ද සැලකිය හැක්කේ මත ගොඩනැගීමේ ක්‍රියාවලියේම කොටස් ලෙසය.

ජාතික ජන බලවේගයේ මූලික ලක්ෂණයක් වන්නේ, එය ජනතා විමුක්ති පෙරමුණම වන අතර එසේ නොවී සිටීමට ද උත්සාහ කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් වන අතර සමාජවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නකි. ජාතික ජන බලවේගය මුළුමනින්ම පාහේ ජනතා විමුක්ති පෙරමුණේ ආධිපත්‍යයට නතු වී ඇතත්, ඔවුන් ජවිපෙ සමාජවාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවලට ඔවුන් විරුද්ධ නමුත්, විකල්පයක් කියන්නේද නැත. බදු වැඩි කිරීමට ඔවුන් විරුද්ධය. ඔවුන්ට බදු අය කරන පහළ සීමාව වැඩි කිරීමට අවශ්‍යය. විස්මය ජනක කරුණක් වන්නේ මෙම සමාජවාදීන් ඉහළම ආදායම් සහිත සුළුතරයකගේ බදු ද අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. දේශීය කර්මාන්ත නගාසිටුවීම ගැන කතා කරන මුත්, එය කරන්නේ කෙසේද යන්න ද ඔවුන් පැහැදිලි කරන්නේ නැත. එසේම, සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීමෙන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි යයි කියන මුත්, එය කරන්නේ කෙසේද යන්නවත් ඔවුන් පැහැදිලි කරන්නේ නැත.

ජාතික ජන බලවේගය මේ වන විට සීමා වී තිබෙන්නේ මාස හයකට ඔබ්බෙන් ඇති ජනාධිපතිවරණය දක්වා ජනප්‍රියත්වය පවත්වා ගැනීමේ වෙහෙසකර අභ්‍යාසය තුළයි. අති විශාල ධනස්කන්ධයක් වැය කරමින්, අධික වෙහෙසක් දරමින් මෙම තීව්‍රතාව පවත්වාගෙන යාම හැර වෙනත් ගැඹුරු සංවාදයක් ඔවුන් අතර ඇති බවක් නොපෙනේ. මෙම පසුබිම තුළ ඔවුන්ට කරන්නේ කුමක්දැයි කල්පනා කරන්නට සිදුවන්නේ බලය ගැනීමෙන් පසුව විය හැකිය.

කුමන පක්ෂය බලය ලබාගත්තද ආර්ථිකය කළමනාකරණය කරගැනීම අතිශය දුෂ්කරය. ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු, යම් සහන යටතේ හෝ ණය ආපසු ගෙවීම ආරම්භ කරන්නට සිදු වන්නේ අලුතෙන් පත්වන ආණ්ඩුවකටය. ඒ සඳහා ග්‍රහණය තව තවත් දැඩි කිරීමට සිදු වේ. ජනතාව අතර ජනප්‍රිය වන තීරණ ගැනීම ඉතා දුෂ්කරය. ජනප්‍රිය වීම කෙසේ වෙතත්, ජනතාවගේ වෛරයට පාත්‍ර නොවී සිටීම පවා ආණ්ඩුවකට දුෂ්කරය.

2022 අරගලය විසින් කුළුගන්වන ලද මහජන වෛරය ජවිපෙට බලය ලබාගැනීමට වාහකයක් කරගැනීමට හැකිය. එහෙත්, එවැනි පටු ජනප්‍රියත්වයේ රැලි මතින් බලයට පැමිණ ඒ බලය රැකගැනීම ලෙහෙසි නැති බව ගෝඨාභය රාජපක්ෂ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ දරුණු මර්දනයකට යොමු වූයේ නැත. අනාගතය කුමක් වේදැයි අප දන්නේ නැත.

අජිත් පැරකුම් ජයසිංහ

Social Sharing
ආර්ථික නවතම පුවත්