ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට එරෙහිව FR පෙත්සමක්…

ශ්‍රී ලංකා සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කපිල රේණුක පෙරේරා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මුදල් හා වෙලද අමාත්‍යංශ වල ලේකම්වරු ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස 24 වනදා ජනාධිපතිවරයාට අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පෙබරවාරි මස 03 වනදා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ තායිලන්ත නියෝජිතයින් අතර අත්සන් තබා ඇති බව පෙත්සම්කරු කියා සිටියා.

අදාල ගිවිසුමේ පිටපතක් මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර නොමැති බවත් එහි පිටපතක් ලබා දෙන ලෙස තොරතුරු පනත යටතේ රජයෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඔහු සඳහන් කළා.

යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බදු සහන රැසක් ප්‍රදානය කිරීමට නියමිත බව පවසන පෙත්සම්කරු බදු පැනවීම, බදු නිදහස් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණය ගැනීමේ පූර්ණ බලය පාර්ලිමේන්තුවට පමණක් පැවරී තිබෙන බව පෙන්වා දෙනවා.

එහෙත් අදාල ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් යෝජිත ගිවිසුම හරහා විශාල රාජ්‍ය ආදායමක් අහිමිවන අතර එය සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බලපෑමක් සිදු කරන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

විනිවිද භාවයකින් හා නීත්‍යානුකූල භාවයකින් තොරව අත්සන් කර තිබෙන මෙම ගිවිසුම හරහා ජනරජයේ ස්වෛරී භාවයටත්, ජාතික ආරක්ෂාවටත්, ආර්ථිකයටත් විශාල අනතුරක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාල ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තියට සහ ආර්ථිකයට සිදුවන හානිය වෙනුවෙන් රුපියල් බිලියන 02 ක මුදලක් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් පිරිසකට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ තුළින් සිදුවන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Social Sharing
නවතම පුවත්