ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ…

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් 84(2) ව්‍යවස්ථාවප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) නිවේදනය කළේය.

නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේ එම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

තවදුරටත් නියෝජ්‍ය කථානායකවරයා මෙසේද පැවැසීය.

එමෙන්ම එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවන් ඉවත්ව යනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පතෙහි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන එක් වගන්තියක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ජනමත විචාරණයකින් අනුමත කළ යුතු වන්නේ පනත් කෙටුම්පතේ 83 වැනි වගන්තිය වේ.

එමෙන්ම 20(3)(එ), 20(3)(ඒ), 20(3)(ඔ), 20(3)(ජ), 20(3)(ට), 20(4)(ඇ), 32(1), 60, 65 ,76 සහ 84 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එම වගන්ති අනුකූල කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන්ව ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

ත්‍රස්ත විරෝධී පනත සරල බහුතරයකින් නීතියක් වන බව අධිකරණය දන්වා තිබෙනවා – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) දැනුම් දුන්නේය.

නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේ එම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

තවදුරටත් නියෝජ්‍ය කථානායකවරයා මෙසේ ද පැවැසීය.

පනත් කෙටුම්පතේ 3,42,සහ 70 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

“ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම වගන්ති දෙක ඇතුළත්ව එම පනත් කෙටුම්පතේ වගන්ති හතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එම තීරණයට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු වන්නේ පනත් කෙටුම්පතේ 72 (1) සහ 75 (3) යන වගන්ති ය. මෙම 75 (3) වගන්තිය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත් එහි සඳහන් වෙයි. මීට අමතරව පනත් කෙටුම්පතේ 3, 42, 53, 70 සහ 83 (7) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එම වගන්ති ව්‍යවස්ථාවට අනුකූල කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුයි. “ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙලෙස ලබාදී තිබෙනවා.”

Social Sharing
ආර්ථික නවතම පුවත්