හොර පාරෙන් රටට ආ නිමි ඇඳුම් තොගයක් රේගු භාරයට

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (13) පැවසීය.

මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන පරීක්ෂණ කළ බවත් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල ආයතන තුනක් ආනයනය කළ මෙම බහලුම් හතර එකම ආයතනයකට නිෂ්කාශනය සඳහා පවරා තිබීමෙන් එම සැකය වඩාත් වැඩි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම බහලුම් හතර රේගුව නොමග යවා විනිශ්කාශනය කරගත්තේ නම් රජයට රුපියල් කෝටි හයකට අධික තීරු බදු ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිමිඇඳුම් තොගය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහලුම් දෙකක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් උඳු කිලෝග්‍රෑම් 12,688 තොගයක්ද භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීබලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Social Sharing
නවතම පුවත්