හැට නම ලක්ෂයට විරුද්ධ හැට දෙලක්ෂයක් ඉන්නා බව කරු මතක් කරයි!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කරගැනීම සදහා හැට නම  ලක්ෂයක  ජනතාවක් ඡන්දය ප්‍රකාශ කලා සේම,  හැට දෙලක්ෂයක ජනතාවක් ඔහුට විරුද්ධව  ඡන්දය භාවිත කළ  බව  අමතක නොකළ යුතුයැයි හිටපු කතානායකවරයා පවසයි.

” ඒ නිසා අපි හැම වෙලාවෙම මේ හැට නමයේ ජන වරම ගැන කතා කරන කොට මම ඉල්ලා සිටිනවා මේ හැට දෙකක ජන වරම ගැන කල්පනා කරන්න කියලා. එහෙම නැත්නම් හැට නමය අරන් හැට දෙක පාගනවානම් ඒ හැට දෙකේ ජනතාවගේ අයිතීන්, බලාපොරොත්තු සුන් කරනවානම් එතන එන්නේ දේශපාලන ගැටුමක්  ”

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක විරුද්ධ පක්ෂයේ  මතයටත් සවන් දිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ නව සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය සදහන් කළේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව විසි වැනි සංශෝධනය හරහා සිදු කිරීමට සැරසෙන වෙනස්කම් සදහා මෙතරම් හදිසියක් ඇයිදැයි ප්‍රශ්න කරන  හිටපු කතානායකවරයා එහිදී අවධාරණය කළේ  හදිසි වෙනස්කිරීමක අවශ්‍යතාවයක් තමන් නොදකින බවයි.

විසිවැනි   ව්‍යවස්ථා සංශෝධනය හරහා අගමැතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් පවතින බලතල සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමක් සිදු වන බව පෙන්වා දෙන කරු ජයසුරිය එහිදී සදහන් කළේ  මිලියන විසි එකක ජනතාවගේ සම්පුර්ණ අයිතිය එක පුද්ගලයකු වෙත පැවරීමක් එමගින්  සිදු වන බවයි.

” ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක පුර්ණ බලය තියෙන්න ඔන පාර්ලිමේන්තුවට. මහජනතාවට. ඒක එක පුද්ගලයකුට පැවරීම අපි දකින්නේ ඉතාමත්ම අසාධාරණයක් කියලා. ”

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය  කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පවසන හිටපු  කතානායකවරයා එහිදී රජයට දැන්ම් දී සිටියේ  පක්ෂ, විපක්ෂ, ආගමික නායකයන් සමග දීර්ඝ සාකච්ඡාවකින් පසු  අදහස් ලබාගෙන ජාතික වැදගත්කමකින් යුත් මෙවැනි  කරුණු සමගියෙන්, සාමදානයෙන්  විසදා ගැනීම රටේ ජාතික අභිවෘද්ධියට හේතු වන බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බවයි.

“සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” යනුවෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පැහැදිලි කළේයැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

 

Social Sharing
නවතම