දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී අපට නොසලකා හැරිය නොහැකි කරුණු රැසකි. එසේම එහිදී අනුගමනය කළ යුතු උපක්‍රම ද බොහොමයකි. අපි දැන් ඒ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගෙන් අදහස් විමසමු.

අපි අද ඉන්නේ කොහොම තැනකද?

මේ රට පහුගිය කාලයේ තිබුණු තැන ගැන අපි කවුරුත් හොඳින් දන්නවානේ. බොරු වළක් උඩනේ රටක් විදිහට හිටියේ. මිත්‍යාවක්, මායාවක් තුළනේ මේ රට තිබුණේ. එහෙව් මෙරටට කොරෝනා වයිරසයෙන් බැට කන්නත් සිදු වුණා. ඔයින් මෙයින් කෙමෙන් රට අඩපණ වුණා. ඊළඟට අපිට කෘෂි රසායන ප්‍රශ්නයත් නරකට බලපෑවා. ඒ ප්‍රායෝගික නොවන විදිහට එක රැයින්, කාබනික කෘෂි කර්මාන්තයට යෑමට ගත් උත්සාහයක ප්‍රතිවිපාක. ඒ ප්‍රශ්නය නම් ටික කාලෙකින් විසඳුණානේ. ඒ වුණත් ප්‍රශ්න වැළක් මැදින් තමයි අපි රටක් විදිහට අද අපි ඉන්න තැනට ආවේ. දැන් ඒ ආර්ථික දුෂ්කරතා තදින් පැවැති කාලයේදී තරම් තෙල්, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිම් නැහැ. ඒත්, අපිට පහුගිය කාලේ අමතක නැහැනේ, ඛනිජ තෙල් නැවක් එනතුරු මඟ බලමින් සිටි රටක්නේ අපි, ඛනිජ තෙල් නැවක් ආවත් අපිට තෙල්වලට ගෙවා ගන්න විදේශ විනිමය නැතිව කොච්චර නම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණාද? ණයවර ලිපි විවෘත කර ගැනීමත් අභියෝගයක් වුණු කාලයක් ඒක. ඩොලර් පමණක් නෙවෙයි, අපිට රුපියල්වලින් මුදල් සොයා ගැනීමත් අපහසු වූ වග කවුරුත් දන්නා කරුණක්. දවස් ගණන් එක දිගට ඇදුණු තෙල් පෝලිම්වල අපේ මිනිස්සු මැරී වැටුණු කාලය තිබුණේ වැඩි ඈතක නෙවෙයිනේ. ඒක අපිට දරා ගන්න අමාරුම වුණු කාලයක්.

එතැනින් නැවතුණේ නැහැ. උද්ධමනය 100%කින් ඉහළ ගිය එකල බොහෝ පරිභෝජන භාණ්ඩ මිල දිනපතා ඉහළ ගියානේ ?

ඒක එහෙම තියෙද්දී රක්ෂා නැති වුණා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටුණා. ඉන්දියාවෙන් බිලියන ගණනක් ණයට අරන්නේ අපි ඛනිජ තෙල් ඇතුළු රටට අත්‍යවශ්‍ය දේ ගත්තේ. අමෙරිකානු ඩොලරයට ගෙවන්න වෙන රුපියල් ගණන ස්ථාවර අගයක තිබුණේ නෑ. නිතර විශාල වශයෙන් ඒ අනුපාත ඉහළ ගියා. ඒ බලපෑමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් නිතර විශාල පරතරයකින් ඉහළ ගියා. තිරිඟු පිටි ආදී මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගැන හිතා බලන්නකෝ. ඒ මිල ගණන් ඉහළ අගයකනේ තිබුණේ.

ඒත්, එතැන ඉඳන් ඉදිරියට තවත් අවුරුද්දක් විතර ගියාට පස්සේ ඇති වුණු සහනදායී තත්ත්වය සිහි කරන්න. ඒ වෙද්දී පෝලිම් යුගය නිමා වුණානේ. අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ මිලත් පහළ වැටුණා. ඉතින්, ලෝකයේ කොහේවත් එතරම් ඉක්මණට අන්ත දුගීකමෙන් ඉහළට හිස එස වූ වෙනත් රටක් නැහැ. ඒක විශ්මකර්ම වැඩක්. ඒත්, තවම අපේ රටේ සමහරුන්ට රැකියා අහිමි වී තිබීමත්, තවත් අයට රැකියා අහිමිවීමේ අවදානමත් තවම පහ වී නැහැ. ඒ ගැනත් දැන් මෙරට පාලකයන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ආර්ථික විශ්ලේෂකයන් මෙරට දැන් තත්ත්වය විස්තර කිරීමේදී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගියකුව නිතර උපමාවට ගන්නවා?

ඒක හරි. අද අපි ඉන්නා තත්ත්වය තව කෙනකුට සරලව පැහැදිලි කර දෙන්න ඒ විදිහ ලෙහෙසියි. අපි රටක් විදිහට කලින් හිටියේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන රෝගියකුගේ තැන තමයි. ඒත්, දැන් අපි එතැන නැහැ. රට යම් ආර්ථික තත්ත්වයකට ඇවිත්. මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයෙන් මෙරට කියන ඒ රෝගියා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවන තැනට ඇවිත් කියලා සරලව කියන්න පුළුවන්. ඒ කියන්නේ, මං කලින් කිවුවා වගේ, දැන් ආර්ථික අර්බුදය දැඩිව තිබූ පෝලිම් යුගය තිබුණු ඉකුත් කාලයේ තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉතා ඉහළ අගයක නෑ. කෙටියෙන්ම කියනවා නම් උද්ධමනය අධික නැහැ. ඒත්, ඉන් දැඩි අවදානමෙන් මිදුණා දැන් හරි කියලා අපිට පෙර හිටිය විදිහට ඔහේ ඉන්න බැහැ.

ඒ කිවුවේ?

අලියෙක් වළකට වැටුණාම කොහොමද? තනිව ගොඩ එන්න ඌට බැහැනේ. ඒකට අනෙකාගේ උදවු ඕනෑ. පිටතින් ලොකු වෙහෙසක් දරා අගලක් කපාගෙන ඇවිත් අපහසුවෙන් තමයි වළට වැටුණු අලියාව ගොඩට ගන්න වෙන්නේ. ජනමාධ්‍යවලින් රටක් විදිහට ආර්ථික අර්බුදයෙන් ඉහළට හිස එසවීමත් එහෙම තමයි, ක්‍රම ක්‍රමයෙන් ඊට මඟ පාදා ගන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම ආදිය මෙතැනදී අපට තීරණාත්මක කරුණුයි.

ඒත්, අද ඇතැම් ජනමාධ්‍ය ඇතුළු සමහරු උලුප්පා දක්වන්නේ ඒක නෙවෙයිනේ. සමහරු බලයට ඒමේ ආශාව මුදුන් පමුණුවා ගන්නයි යන්නේ, මේ ආණ්ඩුවට බෑ කියන මතය දවස තිස්සේම පතුරුවමින්. පාලකයන්ට දොස් නැඟීම සමහරුන්ගෙන් දවස තිස්සේ අහන්න, දකින්න පුළුවන්. ඒක හරියට මන්තරයක් මතුරනවා වගේ නිතරම ඒ අය කරනවා. රට බංකොලොත් කියනවා. ආණ්ඩුව කරන අය ගස් බඳින්න ඕනෑ කියලාත් කියන අය ඉන්නවා. ඒ වගේම හුඟක් මිනිස්සු එච්චර දුර දිග හිතන්නෙත් නැහැ. ඉතින්, ජනතාව නොඉවසිලිවන්ත තැනකට තල්ලු කළාම ඒ අය කුපිත කිරීම පහසු බව බලය ඩැහැ ගන්න බලා ඉන්න සමහරු දන්නවා. ඉතින්, මේ කාලේ සමහරුන්ට හදිසිය තියෙන්නේ ඒ මිනිස්සු අවුස්සා ගැනීමටයි.

වර්තමානයේදී අලුතෙන් බදු අය කිරීම් හා පැවැති ඒවා සංශෝධනය කිරීමේදීත් දකින්න පුළුවන්. මේ මාතෘකාවලටත් ඇතැමුන් විවිධ අර්ථකථන දෙනවා. ඒ එකිනෙක ජනමාධ්‍ය හරහා දිනපතා ජනගත වෙනවා. ජනතාව ඒ බොහෝ වැරැදි අර්ථ නිරූපණ පවා හරියි කියලා හිතන්න පෙලඹෙනවා. ඉතින්, ආණ්ඩුවත් බදු පැනවීමේදී දැනට වඩා සහනශීලි තැනකට ගියා නම් විරුද්ධවාදීන් විවිධාකාරයෙන් වාසි ගන්නා තැනට කරුණු යෙදෙන්නේ නැහැ. තවදුරටත් විස්තර කරනවා නම්, දියුණු රටවල් බදු අයකර ගැනීමේදීත් ඉතා කාරුණිකයි. අපිටත් ඒක ආදර්ශයක්. මෙරට ජනතාව සාධාරණව බදු ගෙවීමට අකමැති නොවුණත් ඊට හඳුන්වා දෙන ක්‍රමවේද කරදරකාරී නම් ඒ ගැන කනස්සල්ලට පත් වෙනවා. ඒ වගේම, ඉහළ ආදායම් ලබන අයගෙන් ඊට අදාළව බදු අය කර ගැනීමට රජයට අවශ්‍ය නම් රජයේ සංවර්ධන නිලධාරින් ආදින් යොදා ගනිමින් පොදු ජනතාවට අසහනකාරී නොවන වැඩපිළිවෙළ සකස් කළ හැකියි. එය එසේ තිබියදී දඬුවම් පිළිබඳ බියක් ඇති කරන තැනට බදු අය කිරීම කියන කාරණය ඔඩු දුවන්නට දීම නම් අනුවණකමක්. බදු අය කර ගන්නවා වගේම, වැඩි වැඩියෙන් බදු ගෙවන තැනැත්තන්ට පහසුකම්, ප්‍රතිලාභ සලසන්නත් රජය නොපසුබට විය යුතුයි. නැතිනම් වැඩිපුර බදු ගෙවන්නා අතෘප්තියට පත් වෙනවා.

දැන් රට ඒ මඟට පිවිසිලාද?

මට ආර්ථික විද්‍යාත්මකව ඒ වගක් තවම පෙනෙන්නට නැහැ. එයින් මෙතෙක් ළඟා කර ගත් ප්‍රගතියත් දුර්වල වෙන්න පුළුවන්. හැබැයි එයින් විපක්ෂ හෝ ආණ්ඩුවේ වෙනත් තරගකාරීන්ට එහෙම දැක්මක් ඇතැයි කියලා කියන්නත් බැහැ. ඒ අයටත් එහෙම පැහැදිලි දැක්මක් හෝ ජන බලයක් නැහැ. අපි රටක් විදිහට පීඩාවට පත්වෙන කාලයක් මේක. ඒත්, එහි දුෂ්කරම කොටසක් අපි නිමා කරලා ඉන්නේ. ලෝකයේ දියුණු රටවල් පවා මේ වගේ දුෂ්කර කාල සීමා පසුකර තියෙනවා. ඒ බොහොමයක් අපටත් වඩා කුසගින්න ඇතුළු නැති බැරිකම් උපරිමව වින්ද කාලයක් තියෙනවා. ජර්මනිය ආදී රටවල් ඊට නිදසුන් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ අතින් බැලුවත් මේ ගෙවෙන්නේ අපේ රටේ ආර්ථික පීඩාකාරී කාලයේ අඩුවෙමින් යෑමක්. හැබැයි, මේ රට ගෙන යන වැඩි දෙනෙක් ඩීලර්ස්ලා. හැබැයි ඩීලර්ස්ලාට රටක් ගෙනියන්න බැහැ.

අපට කවර දේශපාලන මුහුණුවරක් යටතේ වුණත් ඉදිරි වසර ගණනාවක්ම IMFආර්ථික ක්‍රියාකාරී එකඟතා සමඟයි වැඩ කරන්න වෙන්නේ?

ඒ වග දැන් ජනමාධ්‍ය හරහා අසන්නට, දකින්නට ලැබෙනවා. හැබැයි, මහ බැංකුවෙන් ජනතාව තවදුරටත් ලිහිල් ආර්ථික කොන්දේසි තමයි අපේක්ෂා කරන්නේ. එවිටයි ජනතාව පීඩාවට පත්වීම අඩු වෙන්නේ. අනෙක, එහෙමයි කියලා මහ බැංකුව කිසි විටෙකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය විය යුතු නම් නැහැ. ජාත්‍යන්තරය සමඟ කතාබහක් පැවැතියත් මෙරට ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබිය යුතුයි. මෙරටට අවශ්‍ය කරන මූල්‍ය තීරණ ගැනීමනේ, මහ බැංකුවේ වගකීම. මෙරට ජනතාවගේ පැත්තෙන් සිතා බලා ඒ තීරණ ගැනීමට එහි අධිපති, අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු කළ යුතුමයි.

ඒත්, මෙරට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව සිටි රටක්නේ?

ඒ තවත් වැරැදි අර්ථකථනයක්. මම ඊට එකඟ නැහැ. රටක් මිල කරන්නේ කොහොමද? ඇත්තෙන්ම එහෙම කරන්න බැහැනේ. රටක් මිල කළ නොහැකියි. ව්‍යාපාර ගත් විටත් ඒ තුළට යහමින් මුදල් ගලා එන සහ එහෙම නොවන කාල වකවානු තියෙනවා. ඒත්, එයින් ඒ ව්‍යාපාරය බංකොලොත් කියලා කියන්නේ නැහැනේ. රටකටත් කෙටි කාලීනව ආනයන, අපනයන අසමබරතා ඇති වීමත් අරුමයක් නෙවෙයි. වත්කම්වලට වඩා බැරකම් වැඩි කාල තිබුණත් ඒක හැමදාටම එහෙම වෙන්නේ නැහැනේ. එහෙම කාලවලදී ඒ ඒ ව්‍යාපාරය ණය ගැනීම් ආදියෙන් ඒ පරතරය තාවකාලිකව තුලනය කර ගන්නවා. අපේ රටේ පහුගිය කාලයේ වුණෙත් ඒක. ඒ මිසෙක මේ රට වටින්නේ බිලියන පනස් ගණනක් විතරක් නෙවෙයිනේ. මේ වැරදි අර්ථ නිරූපණ නිවැරැදි කිරීමට විද්වතුන් ඉදිරිපත් වීමත් වැදගත්. අනෙක, සංවර්ධනය වෙමින් පවතින රටවල්ය කියන හැඳින්වීමත් එහෙම එකක්. ලෝකයේ එහෙම එකක් ඇත්තෙන්ම නැහැ. දියුණු හා ඌන කියන දෙකොටස පමණයි තියෙන්නේ. නාමිකව විද්වතුන් විසින් පහත් කොට නොසැලකීමේ අරුතින් අර විදිහට කිවුවත්, අපි ඇත්ත තේරුම් ගන්න ඕනි. අපි ඉහළ සමාජ, සංස්කෘතික හුරුවක් ඇති තැනැත්තන් විදිහට කාටවත් අපහාසයක් වෙන විදිහට කතා කරන්නේ නැහැනේ. කථනයේදී වගේම ලේඛනයේදීත් එහෙමනේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ආදී වශයෙන් මනුෂ්‍ය සමාජය ගැන කතා කරනකොටත් අපි සභ්‍ය සහ ශිෂ්ටසම්පන්න විදිහටනේ හඳුන්වන්නේ. රට රටවල් ගැන කතා කරනකොට අර විදිහට හැඳින්වුවත් ඇත්තෙන්ම අපි තවම ඌන සංවර්ධිත රටක්.

ඒත්, සංවර්ධිත රටක් ලෝකවාසී කාගේත් සිහිනයක්?

ලෝක බැංකු වර්ගීකරණ අනුව ඉහළ, මැදි, පහළ ආදී ආදායම් වර්ගීකරණය කිරීම් තියෙනවා. ඉහළ ඒක පුද්ගල ආදායමක් ඇති ඉන් වැඩි මිලදී ගැනීම් ප්‍රමාණයක් කළ හැකියි. එසේම, ඉහළ රාජ්‍ය ආදායමක් ඒ රටවල තියෙනවා. එපමණක් නෙවෙයි, ඒ රටවල සමාජ සුබසාධනයත් ඉතා ඉහළයි. මහජනතාවගේ ඉහළ සතුට පවා ඒ රටවල ඉහළින් සලකනවා. පරිසර ආරක්ෂණය, ධනාත්මක ආකල්ප, දියුණු පරිපාලන ව්‍යුහය ආදී බොහෝ දියුණු ලක්ෂණ එහිලා පෙන්වා දිය හැකියි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

උපුටා ගැනීම – දිනමිණ

Social Sharing
නවතම පුවත්